ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත‍්‍රයේ විශිෂ්ඨත්වය ජාත්‍යන්තරයට රැගෙන යාමට විශේෂ වැඩපිළිවෙලක් හඳුන්වා දෙයි

STUDIO11-7551

 




 

ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA) විසින් සංවිධානය කළ මැණික් හා ස්වර්ණාභරණ අපනයනය සම්බන්ධ ප‍්‍රධාන විද්වත් සමුළුවේ දෙවන රැස්වීම පසුගියදා සංචාරක අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා, මැණික් හා ස්වර්ණාභරණ ආශ‍්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා, SLGJA සභාපති අහ්සාන් රිෆායි සහ ශ‍්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශයේ සභාපතිනිය කිමාලි ප‍්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි. ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත‍්‍රයේ සාර්ථකත්වය උදෙසා ශ‍්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශය සමග අත්වැල් බැඳගැනීම අරමුණු කරගත් මෙම අවස්ථාවට SLGJA විධායක සාමාජිකයන්, ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ (NGJA) නියෝජිතයන් හා දේශීය මැණික් ව්‍යාපාරිකයන් රැසක් සහභාගී වූහ.

මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත‍්‍රය සහ සංචාරක ක්ෂේත‍්‍රය එක්ව මෙලෙස අත්වැල් බැඳගැනීමෙන් අප රටේ මැණික් හා ස්වර්ණාභරණ නිෂ්පාදන මිලදී ගැනීමේ ආර්ථිකමය ශක්තියකින් හෙබි ධනවත් ඉහළ පෙළේ සංචාරකයන් වැඩි වශයෙන් ශ්‍රී ලංකාව වෙත ආකර්ෂණය කරගත හැකිය. වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 500 ක විදේශ විනිමයක් උපයාගත හැකි මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත‍්‍රය මෙරටට විදේශ විනිමය රැගෙන එන විශාලතම මූලාශ‍්‍රයකි. අනපේක්ෂිත ලෙස සිදුවූ මෙරට සංචාරක ක්ෂේත‍්‍රයේ පසුබෑම යථා තත්ත්වයට පත්කරලීම වෙනුවෙන් මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත‍්‍රයට සුවිසල් මෙහෙවරක් සිදු කළ හැකිය.

SLGJA සභාපති අහ්සාන් රිෆායි මහතා මැණික් හා ස්වර්ණාභරණ අපනයනය සම්බන්ධ කාර්ය සාධක කමිටු රැස්වීමේදී අදහස් දක්වමින් “පරම්පරා ගණනාවක් තිස්සේ අපේ රටෙන් හමුවන නිල් මැණික් ඇතුළු මැණික් සම්පතට ලෝකයේ ඉහළ පිළිගැනීමක් ලැබී තිබෙනවා. ශ‍්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සමග එක්ව ප‍්‍රවර්ධන කටයුතු ඇරඹීමට හැකිවීම අපේ රටේ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත‍්‍රයේ දියුණුවට ඉමහත් ශක්තියක්. ශ්‍රී ලංකාවේ ස්වභාවික සෞන්දර්ය පිළිබඳ දැනුවත්ව එය නැරඹීමට පැමිණෙන සංචාරකයන්ට අපේ රටේ මැණික් පතල් ආශ‍්‍රිත ක‍්‍රියාවලිය දැක බලාගන්නටත් උසස් තත්ත්වයේ මැණික් හා ස්වර්ණාභරණ මිලදී ගැනීමටත් ආකර්ෂණය කරගැනීමට එමගින් හැකිවෙනවා. ශතවර්ෂ ගණනාවක් තිස්සේ මැණික් පතල්කරුවන්, නිර්මාණශීලී මැණික් හා ස්වර්ණාභරණ නිෂ්පාදන තාක්ෂණික ශිල්පීන් හා එම ක්ෂේත‍්‍රයේ අපනයනකරුවන් එක්ව අපේ රටේ මැණික් සම්පත හරහා අප‍්‍රමාණ විදේශ විනිමයක් අපේ රටට ගෙනැවිත් තිබෙනවා. ලොව වටා සංචාරය කරමින් ඒ ඒ රටවලට අනන්‍ය වූ භාණ්ඩ මිලදී ගැනීමට උනන්දුවක් දක්වන සංචාරකයන් හා මැණික් ආශ‍්‍රිත නිෂ්පාදනයන්ට විශේෂ උනන්දුවක් දක්වන විදේශිකයන් ශ්‍රී ලංකාවේ නිල් මැණික් කෙරෙහි ආකර්ෂණය වන ආකාරයෙන් සංචාරක ප‍්‍රවර්ධන වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීම හරහා අපේ රටේ සංචාරක ක්ෂේත‍්‍රය ශක්තිමත් කළ හැකිය.” යැයි පැවසීය.

 




 

 

සංචාරක අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා අදහස් දක්වමින් “අපේ රටේ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත‍්‍රය රැකගැනීමත් ප‍්‍රවර්ධනය කිරීමත් සංචාරක කර්මාන්තය හා සම්බන්ධ අප සියළුදෙනාගේ වගකීමක්. අපේ රටේ සුන්දරත්වය ප‍්‍රවර්ධනය කරමින් සංචාරකයන් මෙරටට ආකර්ෂණය කරගැනීමේහිලා අප ක‍්‍රියාත්මක කොට ඇති වැඩපිළිවෙල තුලදී මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත‍්‍රයද ප‍්‍රවර්ධනය වන ආකාරයෙන් විශේෂයෙන් කටයුතු කිරීමට අප සැලසුම් සකස්කොට තිබෙනවා.” යැයි පැවසීය.

ශ‍්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශය වෙනුවෙන් එහි සභාපතිනිය කිමාලි ප‍්‍රනාන්දු මහත්මිය සිය අදහස් දක්වමින් සංචාරක ක්ෂේත‍්‍රයත් මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත‍්‍රයත් එකිනෙක ඒකාබද්ධ වෙමින් කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳ අවධාරණය කළාය. වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය, ශ්‍රී ලංකාවේ සංචාරක ප‍්‍රවර්ධනය උදෙසා නිර්මාණය කරමින් පවතින tourism travel app තුලදී ශ්‍රී ලංකාවේ බලපත‍්‍රලාභී සියළු මැණික් හා ස්වර්ණාභරණ අලෙවිකරුවන්ගේ තොරතුරු ඇතුලත් කළ හැකි බවත් එහි ඇති ‘places to visit’ හරහා එම අලෙවිසැල් පිහිටි ලිපිනයන් හා තොරතුරු ලබාගැනීමේ පහසුකම සලසා දිය හැකි බවත් පැවසීය.

මැණික් හා ස්වර්ණාභරණ ආශ‍්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා මැණික් හා ස්වර්ණාභරණ අපනයනය සම්බන්ධ ප‍්‍රධාන විද්වත් සමුළුවේ අදහස් දක්වමින් “මැණික් හා ස්වර්ණාහරණ ක්ෂේත‍්‍රයේ දියුණුව උදෙසා විශේෂ අවධානයක් යොමු කළ ගරු සංචාරක අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මැතිතුමාටත් එතුමාගේ අමාත්‍යාංශ කාර්ය මණ්ඩලයටත් මා බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා. එහිදී අපේ රටේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ දියුණුවට සමගාමීව සංචාරක ව්‍යාපාරයේ වර්ධනයත් සිදුවන නිසා මේ සමග රැඳී සිටින සියළුම පාර්ශව වලට ප‍්‍රතිලාභ රැසක් හිමිවෙනවා.” යැයි පැවසීය.

“FACETS” ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප‍්‍රදර්ශනයේ සභාපති අල්තාෆ් ඉක්බාල් මහතා ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය විසින් 1991 වසරේ සිට වාර්ෂිකව සංවිධානය කරනු ලබන FACETS ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප‍්‍රදර්ශනය, එළඹෙන වසරේ පැවැත්වීම පිළිබඳ අදහස් දක්වමින් “පවතින තත්ත්වය අනුව 2022 වසරේ ජනවාරි මාසයේදී FACETSවෙළෙඳ ප‍්‍රදර්ශනය පවත්වන්නට හැකිවනු ඇතැයි අප විශ්වාස කරනවා. FACETS වෙළෙඳ ප‍්‍රදර්ශනයට විශාල වශයෙන් විදේශීය ගැනුම්කරුවන් පැමිණෙන නිසා එය අපේ රටේ සංචාරක කර්මාන්තයටත් සැබෑ අත්වැලක් සපයනවා. සංචාරකයන් සඳහා ආකර්ෂර්‍ණය ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ප‍්‍රවර්ධනය කිරීමේදී ශ්‍රී ලංකාවට විශාල වශයෙන් විදේශ විනිමය උපයා දෙන ක්ෂේත‍්‍රයක් වන ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත‍්‍රය ගැනත් විශේෂ සඳහනක් සිදු කරන්නේ නම් අපේ රටට ලැබෙන විදේශ විනිමය ප‍්‍රමාණය තව දුරටත් ඉහළ නංවා ගත හැකිවෙනවා.” යැයි පැවසීය.

SLGJA ස්වර්ණාභරණ අංශයේ උප සභාපති අක‍්‍රම් කාසිම් මහතා සමුළුවේ අදහස් දක්වමින් “මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත‍්‍රය සමග බැඳුනු ශ්‍රී ලංකා ඉතිහාසයේ අතීත ශ්‍රී විභූතියත් වටිනාකමත් ගැන සංචාරක ප‍්‍රවර්ධන වැඩසටහන් තුලදී අන්තර්ගත කිරීම ඉතා වැදගත්. නිල් මැණික් සඳහා ලොව සුපතල ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත‍්‍රය පිළිබඳ ප‍්‍රවර්ධනය කිරීම හරහා ඒ පිළිබඳ උනන්දුවක් දක්වන සංචාරකයන් අපේ රටට වැඩි වැඩියෙන් ගෙන්වාගැනීමට මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත‍්‍රයේ අපත් සංචාරක කර්මාන්ත ක්ෂේත‍්‍රයේ සියළු දෙනාත් එක්ව අත්වැල් බැඳගැනීමෙන් දෙපාර්ශ්වයටත් රටටත් ප‍්‍රතිලාභ රැසක් සැලසෙනවා.” යැයි පැවසීය.

 

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව