ශ්‍රී ලංකාවේ කොවිඞ්-19 වසංගතය පාලනය කිරීමේ උපායමාර්ගික ප‍්‍රතිචාරය සඳහා පෞද්ගලික රෝහල් ක්ෂේත‍්‍රය තීරණාත්මක සාධකයකි – APHNH සභාපති

Lakith Peiris

 




 

කොවිඞ්-19 වසංගතය හේතුවෙන් මෑතකදී ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළ යාමත් ඒ හේතුවෙන් රට පුරා සංචරණ සීමා පැනවීමත් සමඟ මෙම වසංගතයට එරෙහිව සිදු කරන ජාතික ප‍්‍රතිචාරයක් ලෙස පෞද්ගලික රෝහල් අංශය ඉටු කරනු ලබන තීරණාත්මක කාර්යභාරය පිළිබඳව ඇඞ්වොකාටා ආයතනය විසින් මෑතකදී පවත්වන ලද මාර්ගගත (online) සාකච්ඡාවකදී පෞද්ගලික රෝහල් හා සාත්තු නිවාස සංගමයේ (APHNH) සභාපති අදහස් දැක්වීය.

මේ පිළිබඳව අදහස් දක්වන APHNH සභාපති ආචාර්ය ලකිත් පීරිස් මහතා ‘‘කොවිඞ්-19 වසංගතයේ පැන නැගීමත් සමඟ එයට ඉක්මනින් ප‍්‍රතිචාර දැක්වීමක් ලෙස පෞද්ගලික අංශය ක‍්‍රියාක්මක වුනා. මේ දක්වා රට තුළ සිදු කරනු ලබන PCR පරීක්ෂණ ධාරිතාවය වැඩි කිරීම සඳහා PCR පරීක්ෂණ පහසුකම් පිහිටුවීමට අපට හැකියාව ලැබුනා. එ්වගේම රට තුළ කොවිඞ් රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමේ ධාරිතාවය පුළුල් කරමින් අමතර කොවිඞ් රෝගීන් 7500කට ප‍්‍රතිකාර කිරීම සඳහා අතරමැදි සත්කාර ඒකක ද අප පිහිටුවනු ලැබුවා.’’ යනුවෙන් පැවසුවේය.

කොවිඞ්-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව අඛණ්ඩව ඉහළ යාම නිසා ඉක්මනින් කොවිඞ් එන්නත ලබා ගැනීම හා එහි පරිපාලනමය කටයුතු තීරණාත්මක වී ඇති බව සෞඛ්‍ය විශේෂඥයින්ගේ අදහසයි. මෙම අන්තර්ජාල සාකච්ඡාවට එක්වෙමින් සෞඛ්‍ය ප‍්‍රතිපත්ති ආයතනයේ විධායක අධ්‍යක්ෂ හා සාමාජික ආචාර්ය රවී රන්නන්එළිය මහතා ප‍්‍රකාශ කළේ මෙම වසංගතයේ සීඝ‍්‍ර ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා කළ යුතු ඉක්මන් කෙටිකාලීන අවශ්‍යතාවය වන්නේ අඛණ්ඩව PCR පරීක්ෂණ සිදු කරමින් ආසාදිතයින් හඳුනා ගැනීම බවයි. මෙය වඩාත්ම ලාභදායී හා සුදුසුම පියවර බව ඔහු පෙන්වා දෙයි. කෙසේවෙතත් දිවයින පුරා එන්නත් බෙදා හැරීම හා එම කටයුතු පරිපාලනය කිරීම සඳහා ඵලදායී හා ඉක්මන් උපායමාර්ගික වැඩපිළිවෙලක් සමඟ මෙය ඒකාබද්ධ විය යුතු බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

තවද ආචාර්ය ලකිත් පීරිස් මහතා සඳහන් කළේ දැනට පෞද්ගලික අංශයේ වෛද්‍ය කාර්ය මණ්ඩලයෙන් 50% ක් පමණක් කොවිඞ් එන්නත් ලබා ගෙන ඇති බවයි. පෞද්ගලික අංශයේ සෞඛ්‍ය සේවකයින් රටේ බාහිර රෝගීන්ගෙන් 60% කට වඩා වැඩි ප‍්‍රමාණයක් සඳහා සේවය ලබා දෙන බවත් ඔවුන්ට වෛරසය ආසාදනය වීමේ වැඩි අවදානමක් ඇති හෙයින්, APHNH හට අයත් රෝහල්වල සේවය කරන සේවකයින් ද සම්බන්ධ වන පරිදි උපායමාර්ගිකව එන්නත් බෙදා හැරීමේ ඇති වැදගත්කම එම සංගමය නැවතත් අවධාරණය කර සිටී.

 




 

 

කොවිඞ්-19 එන්නත් ලබා දීමේ ක‍්‍රියාවලියට සහාය වීමට පෞද්ගලික අංශය සූදානම් බව අප නිරන්තරයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයට හා රජයට පැවසුවත් තවමත් රජයෙන් එයට ප‍්‍රතිචාරයක් ලබා දී නෑ. වත්මන් ක‍්‍රියාවලිය ඉතා මන්දගාමීයි, එන්නත් බෙදා හැරීමේ කටයුතු පුළුල් කිරීමට අප සූදානම් විය යුතුයි.’’ යනුවෙන් කොවිඞ් එන්නත් ලබා දීම සංඛ්‍යාත්මක වශයෙන් ඉහළ නැංවීමේ අවශ්‍යතාවය පිළිබඳව අදහස් දක්වමින් ආචාර්ය පීරිස් මහතා පැවසුවේය.

එන්නත් ලබා ගැනීමේදී තවමත් සීමිත සැපයුමක් පැවතීම හේතුවෙන් පෞද්ගලික අංශයට ඍජුවම එයට දායක විය නොහැකි අතර දැනට පවතින එන්නත් ලබා දීම හා සිදු කරනු ලබන PCR පරීක්ෂණ වැඩි කිරීම වැනි අනෙකුත් අංශවලට සහාය වීමට සූදානම් බවත් ඒ සඳහා තවමත් පෞද්ගලික රෝහල්වලට හැකියාවක් ඇති බවත් APHNH අවධාරණය කරයි. පෞද්ගලික රසායනාගාරවලින් PCR පරීක්ෂණ සිදු කිරීම සීමා කිරීමේ නවතම රෙගුලාසිවලට පෙර සෞඛ්‍ය අමාත්‍යංශය හා වසංගත රෝග විද්‍යා අංශය විසින් අනුමත කරන ලද රසායනාගාර 10ක් හරහා දිනකට PCR පරීක්ෂණ 16,000කට වැඩි සංඛ්‍යාවක් පෞද්ගලික අංශය සිදුකරමින් සිටියේය. මහජන සෞඛ්‍යාරක්ෂාව පිළිබඳව අවධානය යොමු කිරීම හා අදාල ආරක්ෂිත පියවර ක‍්‍රියාත්මක කිරීමේ රජයේ අරමුණ වුවද නව මාර්ගෝපදේශ මගින් PCR පරීක්ෂණ සිදු කිරීම විශාල ලෙස අඩු කර ඇත.

කොවිඞ්-19 වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා පෞද්ගලික අංශය ද ඇතුලත් කර ගැනීමේ රජයේ ප‍්‍රයත්නයන්ට APHNH ප‍්‍රශංසා කරන අතරම PCR පරීක්ෂණ සිදු කිරීම, එන්නත්කරණය හා කොවිඞ් ආසාදිත රෝගීන්ට ප‍්‍රතිකාර කිරීම සඳහා පෞද්ගලික රෝහල් සතුව ඇති පූර්ණ හැකියාව හා ධාරිතාව පිළිබඳව අදාල පාර්ශවයන්ට තවමත් අවබෝධයක් නොමැති බව එම සංගමය පෙන්වා දෙයි.

‘‘වසංගතයකදී එක් එක් පාර්ශව අතර අන්‍යෝන්‍ය විශ්වාසයක් තිබිය යුතු අතර එවැනි අවස්ථාවකදී රජය මත පැටවී ඇති බර අවම කිරීම සඳහා පෞද්ගලික අංශයටද ඉඩ ලබා දිය යුතු වනවා. එම විශ්වාසය හා හවුල්කාරීත්වය නොමැතිව කොවිඞ්-19 එරෙහිව සටන් කිරීම ඉතා අසීරු විය හැකියි. අපගේ ශ්‍රී ලාංකිකයින්ට උසස් තත්වයේ සෞඛ්‍ය සේවාවන් ලබා දීම හා ඔවුන් ඊට සුදුසු බව සනාථ කිරීම සඳහා පෞද්ගලික රෝහල් ඉතා ක‍්‍රියාශීලීව හා සුබවාදීව කටයුතු කරනවා.’’ යනුවෙන් ආචාර්ය පීරිස් මහතා අවසන් වශයෙන් සඳහන් කළේය

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව