බරපතල ශ්‍රම හිඟය හේතුවෙන් ශ්‍රී ලංකාවේ මාධ්‍ය කර්මාන්තය අවදානමට ලක්ව ඇති බවත්, එම තත්ත්වය වළක්වා ගැනීමට විධිමත් පියවර සහ ප්‍රතිපත්ති අනුගමනය කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කළ යුතු බවත් ලොව විශාලතම මහජන සබඳතා සංවිධානය වන Public Relations & Communications Association (PRCA) හි දේශීය නියෝජිත Thanzyl Thajudeen මහතා අවධාරණය කරයි.
ශ්‍රී ලංකාවේ මාධ්‍ය කර්මාන්තය තුළ විවිධ අභියෝග ගණනාවක් අපට දැකිය හැක. කර්මාන්තයට අලුතින් ප්රවේශවන පිරිස තුළ ඇති අඩු කුසලතා සහ ආකල්පමය දුර්වලතා, මාධ්‍ය ආචාර ධර්ම සහ රහස්‍යභාවය මුළුමනින් නොසළකා හැරීම, ශ්‍රම සහ කුසලතා හිඟය, දැනට කර්මාන්තයේ නියැළී සිටින වෘත්තිකයින් අධික රාජකාරි පැවරීමෙන් විඩාවට පත්වීම, මාධ්‍ය සහ වාර්තාකරණයේ ගුණාත්මකබව ගිලිහීම, යාවත්කාලීන නොවුණු වැටුප් තල සහ ව්‍යාපාර ආදායම් ක්‍රම, ප්රවෘත්ති සහ සිද්ධි පමණට වඩා සංවේදීකරණයට ලක්කිරීම, සාවද්‍ය තොරතුරු සහ න්‍යාය පත්‍ර මත ඉදිරිපත් කෙරෙන තොරතුරු අධික වීම ආදී අභියෝග රැසක් වර්තමානයේ ශ්‍රී ලංකාවේ මාධ්‍ය කර්මාන්තය මුහුණ දෙමින් සිටියි.
විශේෂයෙන්ම උපාධිධාරීන් සහ මාධ්‍ය ක්ෂේත්රයට අලුතින් පිවිසෙන වෘත්තිකයින් අතර විවිධ දුර්මත ගණනාවක් පවතියි. එම නිසා ප්‍රවීණ මාධ්‍ය වෘත්තිකයින් සහ මාධ්‍ය අධ්‍යයන ක්ෂේත්රයේ පිරිස් දායක කරගනිමින් මෙම දැනුම අලුත් පරපුරට ලබාදීම සිදුකළ යුතුය. එහිදී නීතිය, සමාජ විද්‍යා සහ මනෝ විද්‍යා ආදී විෂයන් ද අලුත් මාධ්‍ය වෘත්තිකයින්ගේ දැනුමට එක්කිරීම වැදගත් වේ. මාධ්‍ය වෘත්තිකයෙක්ට සියලු විෂයන් පිළිබඳ ප්‍රාමාණික දැනුමක් තිබීම අත්‍යවශ්‍යයි. ඒ වගේම පරිණත බව, අවංක බව සහ අභියෝග හමුවේ නොසැලී සිටීමේ ගුණයත් මාධ්‍යවේදියෙකු සතු වැදගත් ගුණාංග ලෙස හැඳින්විය හැක.
මෑතක අප කළ නිරීක්ෂණ අනුව, ශ්‍රම හිඟය නිසා විශේෂයෙන්ම මුද්‍රිත මාධ්‍ය ආශ්‍රිතව කර්තෘවරු විශාල ලෙස විඩාවට පත්ව සිටින ආකාරයක් දක්නට ලැබේ. මාධ්‍ය හිමිකාරීත්වය මේ පිළිබඳ දැනුවත් විය යුතුය. වර්තමානයේ නොවෙතත් ඉදිරි කාලයේදී මෙම ශ්‍රම හිඟය නිසා දක්ෂ මාධ්‍යවේදීන් මාධ්‍ය ක්ෂේත්රයෙන් ඉවත්ව යාමේ දැඩි අවදානමක් ඇත.. මෙම තත්ත්වය මහජන සබඳතා ක්ෂේත්රයටත් බලපෑම් එල්ල කරන අතර මාධ්‍ය ක්ෂේත්රයට අලුතින් එක්වන වෘත්තිකයින්ගේ කුසලතා මට්ටම සහ ආකල්ප මහජන සබඳතා කර්මාන්තයට ද අභියෝගයක් වී තිබේ.
අනපේක්ෂිත කොවිඩ් වසංගතය හේතුවෙන් බලපෑමට ලක්වුණු විවිධ ක්ෂේත්‍ර අතුරින් මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්රය විශේෂ වේ. කෙසේ නමුත් එහිදී පැන නැඟූණු පුවත්පත් කඩදාසි සපයාගැනීමේ ගැටලුව, ආදායම් ගැටලුව හෝ මුද්‍රිත මාධ්‍ය පරිශීලකයින්ගේ අඩුවීම ආදිය තවදුරටත් ශ්‍රී ලංකාවේ මාධ්‍ය කර්මාන්තයට අදාළ සුවිශේෂී ගැටලු නොවේ. වර්තමානයේ පවතින ගැටලුව වන්නේ ශ්‍රම හිඟතාවයි. වර්තමානයේ මාධ්‍ය ක්ෂේත්රයට අලුතින් එක්වන්නන් තුළ පවතින අරමුණු සහ අපේක්ෂාවන් මහපොළොවේ යථාර්ථයට වඩා බෙහෙවින් වෙනස් ය.
මාධ්‍ය ක්ෂේත්රය තුළ විශේෂයෙන්ම මුද්‍රිත මාධ්‍යවල පරම්පරා කිහිපයකට අයත් වෘත්තිකයින් පිරිසක් සේවය කරන අතර ඔවුන් හරහා වැඩි ගතිකත්වයක් මාධ්‍ය නිෂ්පාදනයට ලබාගත හැකිව තිබුණ මුත්, ශ්‍රී ලංකාවේ එවැනි වෘත්තීය පරම්පරා අතර දැඩි සබඳතාවක් හෝ දැනුම හුවමාරුවක් සිදුවනු දැකිය නොහැක. තව ද නිදහස් මාධ්‍යවේදීන් ලෙස බඳවා ගැනීම හරහා අවිශ්වාසය සහ ඔත්තු සැපයීම් පදනම් කරගත් අවාසනාවන්ත සිදුවීම් ද වාර්තා වේ.
පසුගිය වසර කිහිපය තුළ ජනමාධ්‍යයේ සහ වාර්තාකරණයේ විශාල ගුණාත්මක පිරිහීමක් දක්නට ලැබේ. එම තත්ත්වය වැළැක්වීමට මාධ්‍ය කර්මාන්තය ගත් කිසිදු පියවරක් නැති තරම් ය. විවිධ මාධ්‍ය ආයතන මගින් තම වෘත්තීකයින්ගේ කුසලතා වර්ධනය කිරීම වෙනුවෙන් ගන්නා විවිධ පියවර අපට දක්නට ලැබුණද, එය සැබෑ ගැටලුවට අදාළ විසඳුම නොවේ. මෙම තත්ත්වය තවදුරටත් පැවතුණහොත්, නුදුරේදීම ශ්‍රී ලංකාවේ මාධ්‍ය කර්මාන්තය විශාල අර්බුදයකට ලක්වනු ඇත. ″මාධ්‍ය කර්මාන්තය කළ යුත්තේ, අධ්‍යාපනය, උපදේශනය සහ විවිධත්වය වෙනුවෙන් ආයෝජනය කිරීමයි″.
වැඩිදුර තොරතුරු සහ පැහැදිලි කිරීම් වෙනුවෙන් thanzyl.thajudeen@gmail.com හරහා තන්සිල් තජුඩීන් හෝ tara.munis@prca.global හරහා ටාරා මුනිස් සම්න්ධ කරගන්න.