වකුගඩු රෝගය සම්බන්ධයෙන් සාමාජයේ පවතිනින්නේ නිවැරදි තොරතුරුද ?

HEmas Hospitals

වකුගඩු රෝගය සම්බන්ධයෙන් සමාජය තුළ විවිධ  මට්ටමේ සාකච්ඡාවන් පවතිනවා. මේ තත්ත්වය වඩාත් සාර්ථක ආකාරයෙන් වර්ධනය කිරීම සඳහා ජනතාව නිවැරදි තොරතුරු වලින් පෝෂණය වී සිටීම වැදගත් වෙනවා. මේ නිසා වකුගඩු රෝගය සම්බන්ධයෙන් පාඨක ඔබ දැනගතයුතු කරුණු සම්බන්ධයෙන් විමසීම සඳහා අද අපි හමුවුනේ තලවතුගොඩ හේමාස් රෝහලේ වකුගඩුරෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දිනිත් ගලබඩ මහතා ය.

 



 

වෛද්‍යතුමනි, වකුගඩුවක් අපිට කොයි තරම් වටිනවද?

අපේ ශරීරයේ අවයවවල ඇති වැදගත්කම අනුව පෙළගැස්සුවොත් ඒකෙ ඉහළින්ම තියෙන අවයවයක් විදිහට වකුගඩු හඳුන්වන්න පුළුවන්. මෙයින් සිදුකරන ප්‍රධාන  කාර්ය තමයි අපේ ශරීරයේ ඇති බහිශ්‍රාවීය ද්‍රව්‍යය මූත්‍ර හරහා ශරීරයෙන් ඉවත් කිරීම. මීට අමතරව ශරීරයේ ජලය සමතුලිතව තබාගැනීමට, රුධිරයේ පොටෑසියම් වැනි විවිධ රසායනික සංඝඨක අවශ්‍ය ප්‍රමාණයට තබා ගැනීම, ශරීරයේ ආම්ලික භාෂ්මිකතාවය තුලිතව පවත්වා ගැනීම, විශේෂ හෝමෝනවර්ග නිපදවීම, උදාහරණයක් විදිහට හීමොග්ලොබින් ප්‍රමාණය නිසියාකාරයේ පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ප්‍රධාන හෝමෝනය නිපදවීම වැනි ප්‍රමුඛ කාර්යයන් රැසක් සිදු කරනවා.

වකුගඩු රෝග සම්බන්ධයෙන් කෙටි හැඳින්වීමක් කලොත්?

අපට වකුගඩු රෝග රාශියක් හඳුනා ගැනීමට පුළුවන්. ඒ රෝග ප්‍රධාන කාණ්ඩ දෙකක් යටතේ වර්ග කර දක්වනවා. පළවෙනි කාණ්ඩය තීව්‍ර වකුගඩු රෝග (acute kidney injury), දෙවන කාණ්ඩය හඳුන්වන්නෙ නිධන්ගත වකුගඩු රෝග (chronic kidney disease – CKD) යනුවෙන්. අද අපි මේ සාකච්ඡාව තුළින් අවධානය යොමු කරන්නේ නිධන්ගත වකුගඩු රෝග තත්ත්වය සම්බන්දයෙනුයි.

මේ රෝග තත්ත්වය ඇතිවෙන්න තිබෙන ප්‍රධානම හේතුව තමයි දියවැඩියාව. මෙයට අමතරව අධි රුධිර පීඩනය, වෘච්චිකා ප්‍රදාහය, මුත්‍රා පද්ධතියේ ගල් ඇතිවීම, ජානමය වකුගඩු රෝග ආදී තත්ත්වයන් හේතුවෙනුත් මේ රෝගය ඇතිවීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම ලංකවේ වියළි කලාපයේ සමහර කෘෂිකර්ම ප්‍රදේශ ආශ්‍රිතව හේතුව හඳුනා නොගත් CKDU නමින් වකුගඩු රෝග තත්තවයක් තිබෙනවා.

නිධන්ගත වකුගඩු රෝගය සම්බන්ධයෙන් අප වැඩි අවධානයක් යොමුකළයුත්තේ ඇයි?

මෙම රෝග තත්ත්වය සෙමෙන් කාලයක් පුරා වකුගඩු වලට හානි පැමිණවිම තමයි විශේෂත්වය. මෙහි ඇති අනෙක් භයානකම තත්ත්වය තමයි මෙයින් විනාශය පත්වුනු කොටස් නැවත සක්‍රීය කිරීමට නොහැකි වීම. සාමාන්‍යයෙන් මෙම රෝග තත්ත්වය අදියර 5ක් දක්වා වර්ග කර තිබෙනවා. 5වන අදියර කියන්නේ වකුගඩු අකර්මණ්‍යවීමේ අවස්ථාව. මෙහිදී 1වන අදියරේ සිට 4වන අදියර දක්වා කාලය තුළ රෝගය හඳුනා ගැනීමට හැකි වුවහොත් එම වකගඩු රෝගය තවදුරටත් උත්සන්නවීම වළක්වා ගැනීමේ හැකියාව ඇත.

මේ රෝගය වැළඳීමේ වැඩි හැකියාවක් ඇත්තේ මොනවගේ අයටද?

විශේෂයෙන් දිය වැඩියාව ඇති රෝගීන්, අධි රුධිරපීඩනය, ස්ථූලතාවය ඇති පුද්ගලයින් , පවලේ සාමාජිකයින් හට වකුගඩු රෝග වැළඳී තිබේනම් , වකුගඩුවලු ගල් ඇති අය, වකුගුඩු රෝග බහුලව දක්නට ප්‍රදේශවල ජීවත්වන ජනතාව (උදා. කෘෂිකාර්මික ප්‍රදේශවල) මේ සම්බන්ධයෙන් අවධානයෙන් සිටීම වැදගත් වෙනවා. නිධන්ගත වකුගඩු රෝගයේ ඇති විශේෂත්වය තමයි රෝගය උත්සන්න වන තෙක් රෝග ලක්ෂණ පෙන්නුම් නොකිරීම. එම නිසා වකුගඩු රෝග හැදීමේ අවදානමක් ඇති පිරිස් වකුගඩුවල ක්‍රියකාරීත්වය සම්බන්ධයෙන් පරික්ෂා කරගැනීම වැදගත් වෙනවා. රෝගය උත්සන්න වූ අවස්ථාවේදී කකුල් ඉදිමීම, ශරීරය ඉදිමීම, මුත්‍රා කිරීමේදී පෙණ ඇතිවීම, හුස්ම ගැනීමේ අපහසුතා, ඔක්කාරය, වමනය වැනි රෝග ලක්ෂණ දැකගත හැකියි.

මේ සඳහා ඇති පරීක්ෂණ මොනවාද?

රෝගයේ මුල් අවධියේදීම හඳුනා ගැනීම සඳහා urine albumin-creatinine ratio කියන මූත්‍ර පරීක්ෂණය සහ serum creatinine කියන රුධිර පරීක්ෂණය කරගැනීම වැදගත් වෙනවා. මීට අමතර පරීක්ෂණ වෛද්‍ය නිර්දේශ මත සිදුකර ගත හැකියාව තිබෙනවා.

වකුගඩු රෝග ප්‍රතිකාර ක්‍රම සම්බන්ධයේ දැනුවත් කලොත්?

වකුගඩු රෝග සඳහා සාර්ථක ප්‍රතිකාර ඇත. එහිදී සිදුකරන ප්‍රතිකාර මගින් රෝගය හඳුනාගත් අවස්ථාවේ සිට රෝගය උත්සන්න වීම සහ ව්‍යාප්තිය වැලැක්වීම සිදුකරනු ලබනවා. දියවැඩියාව සහ අධි රුධිරපීඩනයට නිසි ප්‍රතිකාර ගැනීම වකුගඩු රෝගය වැළැක්වීමට ගන්නා ප්‍රධාන ක්‍රියාමාර්ගයකි. මීට අමතරව තවත් විශේෂ ප්‍රතිකාර රැසක් තිබෙනවා. මේවා වෛද්‍ය උපදෙස් මත ලබා ගැනීම වැදගත් වෙනවා. ඒ වගේම වකූගඩු අකර්මණ්‍ය වූ වීට නැත්නම් පස්වන අවස්ථාවට පත් වූ විට විශේෂ ප්‍රතිකාර වලට යොමුවීම වැදගත් වෙනවා. ඒ යටතේ සිදුකරන පළමුවෙනි ක්‍රමය තමයි රෝගියාගේ සිරුරේ රුධිරය යන්ත්‍රයක් මාර්ගයෙන් පිරිසිදුකර නැවත සිරුරට ඇතුළු කිරීමේ රුධිර කාන්දු කරන ප්‍රතිකාරය. දෙවන ප්‍රතිකාර ක්‍රම තමයි රෝගියාගේ උදර කුහරයට තරලයක් ඇතුල්කර රුධිරයේ අඩංගු බහිශ්‍රාවීය ද්‍රව්‍ය ඉවත් කිරීමේ ක්‍රමය වන පරිතාන කාන්දුකරන ප්‍රතිකාරය. තුන්වන ක්‍රමය තමයි වකුගඩු බද්ධ කිරීමේ ක්‍රමය. වකගඩු අකර්මණ්‍ය වූ විට සිදුකරන ප්‍රතිකාර ක්‍රමවලින් සාර්ථකම ක්‍රමවේදය විදිහට මේ ක්‍රමය හඳුන්වන්න පළුවන්. මේ යටතේ නිරෝගී අයෙකු ප්‍රදානය කළ වකුගඩුවක් හෝ මොලය මියගිය අයෙකුගේ ජීව වකුගඩුවක් බද්ධ කිරීම තමයි සිදුකරන්නෙ. බොහෝ වෙලාවට ශරීරයට හුරු නැති මේ අලුත් කොටස රෝගියාගේ ශරීරය ප්‍රතික්ෂේප කිරීමට තමයි නිතරම උත්සහ කරන්නෙ. මේකට ප්‍රතිකර්මයක් විදිහට වෛද්‍ය උපදෙස් මත ශරීරයේ ප්‍රතිශක්තිය අඩු කිරීම සඳහා විශේෂිත ප්‍රතිකාර සිදුකරනු ලබනවා. නමුත් ශරීරයේ ප්‍රතිශක්තිකරණය අඩුකිරීමෙන් සමහර  අවස්ථාවල රෝගියා විවිධ අසාදන තත්ත්වයන්ට ලක්වීමේ වැඩි හැකියාවක් තිබෙන බැවින් මෙවැනි රෝගීන් එයින් ආකරක්ෂා විම සඳහා විශේෂ ක්‍රමවේද භාවිත කිරීමට අවශ්‍ය වෙනවා.

වෛද්‍යතුමනි, ඖෂධ ගැනීමෙන් වකුගඩු රෝග සඳහා බලපෑමක් වෙනවද?

ගොඩක් අය හිතනවා දියවැඩියාව, අධිරුධිර පීඩයනය වගේ රෝග වලට ඖෂධ ගැනීමෙන් වකුගඩු රෝග තත්ත්වය ඇතිවෙනවා කියල. මේක සමාජය තුළ පැතිර තිබෙන වැරදි මතයක්. මම පෙරත් සඳහන් කළ ආකාරයට මේ රෝග වලට නිවැරදිව ප්‍රතිකාර ගැනීමෙන් වකුගඩු රෝග තත්ත්වයන් ඇතිවීම වගේම ඇතිවී තිබෙන වකුගඩු රෝග ව්‍යාප්තවීම වැළකෙනවා. වකුගඩු වලට අහිතකර ඖෂධ අතර විශේෂයෙන් සඳහන් කළ හැක්කේ NSAIDs කාණ්ඩයට (nonsteroidal anti-inflammatory drugs) අයත් වේදනා නාශක. මේවා  දිගු කාලයක් වෛද්‍ය නිර්දේශයකින් තොරව භාවිත කිරීමෙන් වකුගඩු වලට හානි සිදුවිය හැකි.

වකුගඩු රෝගයෙන් පෙළෙන අයෙකුට අහාර ගැනීම කළයුත්තේ කෙසේද?

සාමාන්‍යයෙන් මෙවැනි රෝගීන් සඳහා ප්‍රෝටීන් අඩංගු ආහාර බහුල  වශයෙන් ගැනීම යෝග්‍ය නැහැ. නමුත් වරතමානයේ අප සාමාන්‍ය ආහාර වේලකට පවා ප්‍රමාණවත් ආකාරයෙන් ප්‍රෝටීන් ලබා නොගන්න නිසා ප්‍රෝටීන් අඩු කිරීමට යාමෙන් ගැටළු රැසක් ඇතිවීමට හැකියාව තිබෙනවා. ඒ වගේම ලුණු ආහාරයට ගැනීම අඩු කිරීම වැදගත් වෙනවා. මීට අමතරව එළවළු සහ පළතුරු වැඩි වශයෙන් භාවිත කිරීම වගේම, ශාක පදනම් කරගත් ආහාර (Plant Based Foods) වලට වැඩි වශයෙන් අවධානය යොමු  කිරීමෙන් වකුගඩු රෝග ඇතිවීම වගේම උත්සන්න වීම වැළකෙනවා. ඒ වගේම දියවැඩියාව, හෘදයාබාධ වැනි රෝග තත්ත්වයන් ඇතිවීම වළක්වා ගැනීමටත් හේතු වෙනවා.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව