ලොව පුරා ආබාධ සහිත ගුරුවර ගුරුවරියන්ගේ අත්දැකීම් ඇසුරින් සිදුකළ පර්යේෂණයක ප්‍රතිඵල එළිදකී

British Council_Logo

British Council Sri Lanka පසුගියදා “Being a Teacher with Disabilities: Perspectives, Practices, and Opportunities” යන තේමාව යටතේ පුරෝගාමී පර්යේෂණ වාර්තාවක් එළිදැක්වී ය. ශ්‍රී ලංකාවේ සහ තවත් රටවල් 4 ක ආබාධ සහිත ගුරුවරුන් ලද අත්දැකීම් සහ ඔවුන් මුහුණ දුන් අභියෝග මෙන්ම, ඔවුන්ට ලැබුණු අවස්ථා සහ සහයෝගයන් ආදිය සම්බන්ධයෙන් සිදුකරන ලද පර්යේෂණයක් ඇසුරින් මෙම වාර්තාව පිළියෙල කර ඇත.

 



 

ශ්‍රී ලංකාව, බ්‍රසීලය, ජෝර්දානය, රුවන්ඩාව සහ ස්පාඤ්ඤය යන රටවල ඉංග්‍රීසි භාෂාව සහ අනෙකුත් විෂයන් උගන්වන, ආබාධ සහිත ගුරුවරුන් පිරිසක් සම්බන්ධ කරගනිමින් මෙම පර්යේෂණය සිදුකර තිබේ. මේ සඳහා පෙනෙන සහ නොපෙනන ආබාධ සහිත ගුරුවරුන් 25 දෙනෙකු සමග සම්මුඛ සාකච්ඡා පවත්වන ලද අතර, එමගින් එම ගුරුවරුන් සිය වෘත්තීය ජීවිතය තුළ ලබන අත්දැකීම් සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයක් ලබාගැනීමට හැකි විය.

ශ්‍රී ලංකාවේ ආබාධ සහිත ගුරුවරුන් සම්බන්ධයෙන් නිරීක්ෂණය වී ඇති ප්‍රධානතම කරුණක් නම්, ඔවුන්ට සෑම විටම අප්‍රධාන තලයකට සීමා වීමට සිදු වීම ය. එකම පාසලක දීර්ඝ කාලයක් සේවය කිරීමෙන් අනතුරුව වුවද ඔවුන්ට විධිමත් කාලසටහන් හෝ වගකීම් නිල වශයෙන් පවරා නොතිබිණි.

තමන් පදිංචි ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පාසලක සේවය කරන චමින්ද, තම අත්දැකීම් විස්තර කර තිබුණේ මෙසේ ය. “මගේ පාසලේ මට කාලසටහනක් ලබා දීලා නැහැ.  මම අවුරුදු 7 ක් තිස්සේ මේ පාසලේ සේවය කරනවා. මට කාලසටහනක් නැති වීම මගේ වරදක් වෙන්න බැහැ. වසර ආරම්භයේදී මට කාලසටහනක් ලබාදිය යුත්තේ විදුහල්පති විසිනුයි. මගේ විෂය ගැන හොඳ දැනුමක් මට තිබෙන බව හැමෝම දන්නවා. මට කාලසටහනක් ලබාදීම ඒ අයගේ වගකීමක්. මට ඒ ගැන විමසමින් අනෙක් අයට කරදර කරන්නට බැහැ. මම බලෙන් විෂයන් ගත්තේ ඇයිද කියා සමහර වෙලාවට දෙමාපියන් මගෙන් අහනවා.”

මෙම වාර්තාව සම්බන්ධයෙන් British Council Sri Lanka හි මෙරට අධ්‍යක්ෂ ඕලන්ඩෝ එඩ්වඩ්ස් මහතා මෙසේ අදහස් දැක්වී ය. “අන්තර්කරණය හා සමානාත්මතාව සහිත අධ්‍යාපන පද්ධති ගොඩනැංවීම සඳහා අප ගන්නා උත්සාහය තුළ, ආබාධ සහිත ගුරුවර ගුරුවරියන්ගේ අත්දැකීම් සහ දෘෂ්ටි කෝණයන් සැලකිල්ලට ගැනීම අතිශයින් වැදගත්. ආදර්ශමත් චරිත බවට පත්වෙමින් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ අන්තර්කරණය ප්‍රවර්ධනය කිරීම සඳහා ගුරුවරුන් කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටුකරනවා. අන්තර්කරණය තහවුරු කිරීම මගින් සිසුන්ට වඩාත් හොඳ අධ්‍යාපනික අත්දැකීමක් ලබාදෙන අතරම සමාජය වඩාත් අවබෝධාත්මක, සහකම්පනය සහිත, සමාන අවස්ථා හිමිවන තැනක් බවට පත්කිරීමට පුළුවන්.”

ගුරුවරුන්ගේ අත්දැකීම්වලට අමතරව, ප්‍රතිපත්ති සහ ලිඛිත සාධක අධ්‍යයනය කිරීම මගින් හඳුනාගන්නා ලද කරුණු රැසක්ද මෙම වාර්තාවට ඇතුළත් වන අතර, එමගින් ආබාධ සහිත ගුරුවරුන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් වඩාත් පරිපූර්ණ අවබෝධයක් ලබාගැනීමට හැකියාව ලැබී තිබේ.

මෙම ප්‍රකාශනයේ එක් ප්‍රධානතම ඉලක්කයක් වන්නේ, ජාත්‍යන්තර සංවර්ධන කටයුතුවලට සම්බන්ධ වී සිටින සංවිධානවලට වැදගත් වන තොරතුරු සහ නිර්දේශ ලබාදීම ය. ආබාධ සහිත ගුරුවරුන් මුහුණ දෙන අභියෝග සහ ඔවුන් හමුවේ ඇති අවස්ථා පෙන්වා දීම මගින් රටේ බලධාරීන්, අධ්‍යාපනඥයන් සහ පර්යේෂකයන් ඇතුළු කාණ්ඩ රැසකට පැහැදිලි මගපෙන්වීමක් හිමි වන අතර, එමගින් ලොව පුරා වඩාත් පුළුල් ලෙස අන්තර්කරණය වූ ප්‍රතිපත්ති සම්පාදනයට අවස්ථාව හිමි වේ.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × five =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව