දෙමාපියෙකු බවට පත්වීම ඕනෑම පුද්ගලයෙකුගේ ජීවිතයේ සිදුවන වඩාත්ම භාරදූර සහ තෘප්තිමත් ගමනක ආරම්භය ලෙස සැලකිය හැක. එය ඉවසීම, කැපවීම සහ ආදරය එක්තැන් වුනු භූමිකාවකි. කුඩා දරුවන්ගේ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම හරහා ඔවුන්ගේ අනාගත සාර්කත්වයට අඩිතාලම සකස් කිරීමේ වගකීමද දෙමාපියන් සතු වැදගත් භූමිකාවේ කොටසක් වේ. එය සමස්තයක් ලෙස මුළු මහත් සමාජයටම බලපෑම් ඇති කළහැකි කාරණයකි. මුල් ළමාවිය සංවර්ධනය සඳහා දෙමාපියභාවය වැදගත් වන්නේ කෙසේදැයි අවබෝධ කර ගැනීම සෞඛ්‍ය සම්පන්න, හොඳින් අනුගත වන සහ ඔරොත්තු දීමේ හැකියාව සහිත දරුවන් හදා වඩා ගැනීම සඳහා ප්‍රධාන සාධකයක් වෙයි.
- මොළයේ සංවර්ධනය
මුල් ළමාවිය යනු මොලයේ ඉතා වේගවත් සංවර්ධනයක් සහිත කාල පරිච්ඡේදයකි. මිනිස් මොලය ඉතා සැලකිය යුතු මට්ටමකින් වර්ධනයක් සිදුවන්නේ ද ජීවිතයේ මුල් අවුරුදු 5 තුළදීය. මෙම තීරණාත්මක කාල සීමාවේදී දරුවෙකුගේ සංවර්ධනය සඳහා දෙමාපියභාවය මගින් ඇතිකරන බලපෑම සුළුපටු නොවේ. අන්තර් සම්බන්ධතා පැවැත්වීම, උත්තේජන ලබා දීම, සහ චිත්තවේග පාලනය කර ගැනීමට සහාය වීම හරහා දෙමාපියන් විසින් දරුවාගේ ස්නායු සම්බන්ධතා සකස් වීම කෙරෙහි බලපෑම් ඇති කරයි. ඉගෙනීම, ගැටළු විසඳීම, සහ චිත්තවේග පාලනය සඳහා පදනම වන්නේ මෙම ස්නායු සම්බන්ධතාවයන්ය.
- චිත්තවේගී යහපැවැත්ම
රැකබලාගන්නන් සමග ඇතිකරගන්නා චිත්තවේගී බැඳීම දරුවෙකුගේ චිත්තවේග යහ පැවැත්ම සඳහා පදනම සකස් කරයි. දෙමාපියන්ගේ ප්‍රතිචාරාත්මක බව සහ සෙනෙහස නිසා දරුවෙකුට ඇතිවන ආරක්ෂාව පිලිබඳ හැඟීම නිසා විශ්වාසයෙන් ලෝකය ගවේෂණය කිරීමට ඔවුනට හැකිවේ. තම දෙමාපියන්ගෙන් නිතර ආදරය ලැබෙන දරුවෙකුගේ ආත්ම අභිමානය, සහකම්පනය, සහ චිත්තවේගීය වශයෙන් ඔරොත්තු දීමේ හැකියාව වැනි ගුණාංග හොඳින් සංවර්ධනය වෙයි.
- සමාජීය කුසලතා
දරුවෙකුගේ සමාජීය කුසලතා සංවර්ධනය කෙරෙහි දෙමාපියභාවය මගින් විශාල බලපෑමක් ඇති කරයි. දෙමාපියන් හා සහෝදර සහෝදරියන් සමග ඇතිකර ගන්නා අන්තර් සම්බන්ධතා හරහා සහයෝගයෙන් කටයුතු කිරීම, බෙදාහදා ගැනීම, සහකම්පනය වැනි ගුණාංග දරුවෝ ඉගෙන ගනිති. මෙම මුල් අත්දැකීම් මගින් පසු කාලීනව සමවයසේ මිතුරු මිතුරියන් හා වැඩිහිටියන් සමග ඇතිකරගන්නා ධනාත්මක සම්බන්ධතාවලට පදනම සකස් වේ. කරුණාව, අන් යට ගරු කිරීම, සහ ඵලදායී සන්නිවේදනය ආදර්ශයෙන් පෙන්වන දෙමාපියන් තම දරුවන්ට වටිනා සමාජීය කුසලතා උරුම කර දීමට හැකියාව ලබයි.
- භාෂාව හා සන්නිවේදනය
මුල් ළමා විය තුලදී දරුවෙකුට ලැබෙන භාෂා උත්තේජනවල ප්‍රමාණය සහ ගුණාත්මක බව පසුකාලීන භාෂා සංවර්ධනය කෙරෙහි විශාල බලපෑමක් ඇතිකරයි. දරුවන් සමග පොත්පත් කියවීම හා ගීත ගායනය වැනි ක්‍රියා මගින් දෙමාපියන්ට ඔවුන්ගේ භාෂා සංවර්ධනය වැඩි දියුණු කල හැකිවේ. මෙම කුසලතාවය දරුවන්ට අධ්‍යාපනයෙන් සාර්ථක වීමට පමණක් නොව ජීවිතය පුරාම අවශ්‍ය වන ඵලදායී සන්නිවේදනය සහ තම අදහස් ප්‍රකාශ කිරීම සඳහා අත්‍යාවශ්‍ය වෙයි.
- සාරධර්ම සහ සදාචාරය
දරුවන්ට ප්‍රධාන වශයෙන්ම ආදර්ශ ලබා දෙන්නේ දෙමාපියන් විසිනි. එමෙන්ම සදාචාරාත්මක වටිනාකම් සහ හැසිරීම් ගැන මුලින්ම දරුවන්ට හඳුන්වාදෙන්නේ ද දෙමාපියන්ය. අවංක බව, සෘජු බව සහ කරුණාව වැනි ගුණාංග සම්බන්ධව දරුවන්ට නිවසේදී ලැබෙන ඉගෙනෙම් අවස්ථා දරුවන්ගේ සාරධර්ම සංවර්ධනය කෙරෙහි දැඩි බලපෑමක් ඇති කරයි. සහකම්පනය සහ අන් අයට ගෞරවාන්විතව සැලකීම සමග දෙමාපියභාවය එක්වූ විට මෙවැනි ගුණාංග දරුවන් තුල ඇති කිරීම අපහසු නොවේ.
- අධ්‍යාපනයෙන් සාර්ථක වීම
මුල් ළමා වියේදී දෙමාපියන්ගෙන් හොඳ සහයෝගයක් ලැබෙන දරුවන් පාසලදී ඉතා සාර්ථක වන බව දිගින් දිගටම පර්යේෂණ මගින් පෙන්වා දෙයි. දරුවන් සමග පොත් කියවීම, ගෙදර වැඩ සඳහා උදවු වීම, සහ ඉගෙනීම සඳහා උනන්දුවක් පෙන්නුම් කිරීම වැනි ක්‍රම හරහා අධ්‍යාපනයට දෙමාපියන් හවුල් වීම ඉතා වැදගත් වේ. එමගින් දරුවන්ගේ අධ්‍යාපන ජයග්‍රහණ ඉහල නැංවෙන අතර ජීවිතය පුරාම ඉගෙන ගැනීම සඳහා උනන්දුවක් ඇතිකර ගනියි.
- ඔරොත්තු දීම සහ ගැටලුවලට සාර්ථකව මුහුණදීමේ කුසලතා
දෙමාපියභාවය යනු දරුවන්ට හැදී වැඩීම සඳහා ආදරණීය වටපිටාවක් සකස් කර දීම පමණක් නොවේ. ජීවන අභියෝග වලට සාර්ථකව මුහුණ දෙන ආකාරය ඉගැන්වීමත් ඊට ඇතුලත් වෙයි. අවශ්‍ය පරිදි මග පෙන්වීම, සීමාවන් පැනවීම, සහ දරුවන්ගේ වයසට ගැලපෙන පරිදි තීරණ ගැනීමට ඉඩ ලබාදීම වැනි දේ හරහා දරුවන්ගේ ජීවිතය පුරාම වැදගත් වන ඔරොත්තු දීමේ ශක්තිය සහ ගැටළු විසඳීමේ කුසලතා දියුණු කිරීම සඳහා දෙමාපියන්ට දායක විය හැක.
ප්‍රතිචාරාත්මක රැකවරණය:
දරුවා සහ රැකබලාගන්නා අතර සුරක්ෂිත සහ යහපත් බැඳීමක් ගොඩනැගීම සඳහා මූලික පදනම වන්නේ මුල් ළමා වියේදී දරුවෙකුට ලබාදෙන ප්‍රතිචාරාත්මක රැකවරණයයි. දරුවාගේ අවශ්‍යතා සහ හැඟීම්වලට අනුගත වීම සහ උණුසුම් හා සංවේදී ලෙස ඉක්මනින් එම අවශ්‍යතා ඉටුකර දීම ඊට ඇතුලත් වේ. මෙවැනි රැකබලාගැනීමක් නිසා දරුවාට ආරක්ෂාව ලැබෙන බව, තමාව තේරුම් ගන්නා බව සහ අගය කරන බව සම්බන්ධ විශ්වාසයක් ගොඩනැංවෙයි. ධනාත්මක සමාජ, චිත්තවේග සහ ප්රජානන සංවර්ධනය සඳහා මෙය අත්‍යාවශ්‍ය වේ. දෙමාපියන් විසින් දරුවාගේ හැඬීම, සිනහ වීම, සහ ඉරියවු වලට අවධානයෙන් ප්‍රතිචාර දැක්වීම හරහා දරුවා තුල විශ්වාසය ගොඩනැංවීම සිදුවෙයි. එමගින් දරුවාගේ ආත්ම අභිමානය සහ අන්තර් පුද්ගල සම්බන්ධතා සඳහා ශක්තිමත් අඩිතාලමක් නිර්මාණය කලහැක. ප්‍රතිචාරාත්මක රැකවරණය මගින් දරුවා තුල ආරක්ෂිත හැඟීමක් ඇතිවීම පමණක් නොව, ඔවුන්ගේ කුතුහලය සහ අවට ලෝකය ගවේෂණය කිරීමට ඇති උනන්දුවද ඉහල නංවයි. මෙමගින් දරුවාගේ ඉගෙනීමට සහ සංවර්ධනයට අවශ්‍ය ප්රශස්ත වටපිටාව ගොඩනැංවීම සඳහා විශාල දායකත්වයක් ලැබේ.
ප්‍රතිචාරාත්මක රැකබලාගන්නෙකු වීමට නම්, ඔබ දරුවාව හොඳින් නිරීක්ෂණය කිරීමට, ඔහුගේ/ඇයගේ ඉරියවු, ඉඟි, වාචික හා වාචික නොවන සන්නිවේදනයන් තේරුම් ගැනීමට, දරුවාගේ අවශ්‍යතා හඳුනා ගැනීමට සහ ඊට නිසි කාලයේදී, සුදුසු ප්‍රතිචාර දැක්වීමට ඉගෙන ගැනීම සිදු කල යුතු වේ. මෙම කුසලතාවය ඇතැම් විට ඔබට ඉගෙන ගැනීමට සිදුවිය හැකිය. ප්‍රතිචාර දැක්වීම ප්‍රතික්‍රියා කිරීමෙන් වෙනස් වේ. ප්‍රතික්‍රියාව බොහෝවිට චිත්තවේගී, වැඩිදුර නොසිතා නිතැතින්ම සිදුවන ක්‍රියාවකි. බොහෝ දෙමාපියන් තමන්ගේ දරුවන්ට ප්‍රතිචාර දක්වනවාට වඩා සිදුකරන්නේ ප්‍රතික්‍රියා කිරීමයි.
අපේ දරුවන්ට අවශ්‍ය වන්නේ ප්‍රතික්‍රියා කරන දෙමාපියන් නොව ප්‍රතිචාරාත්මක දෙමාපියන්ය!.