පවත්නා බරපතල ගැටළු සලකා වැට් බද්දෙන් නිදහස් කරන මෙන් පොත් කර්මාන්තයෙන් නැවතත් දැඩි ඉල්ලීමක්

Members of the headtable (LBN)

නව ජාතික ජන බලවේගයේ රජයෙන් ඉදිරිපත් කිරීමට නියමිත පළමු අයවැය තුළට ඇතුලත් කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කරයි

2024 දෙසැම්බර් 10 වන අඟහරුවාදා: මීළඟ ජාතික අයවැයට ඇතුළත් කිරීම සඳහා පොත් කර්මාන්තයේ සංගම් හතරක් එක්ව පොත් සඳහා පනවා ඇති බදු වලින් නිදහස් කරන යෝජනාවක් නව රජයට ඉදිරිපත් කරමින් බදු පැනවීමට එරෙහිව සිය හඬ නැවතත් අවධි කර ඇත.

 



 
දැනුම ලබා ගැනීමේ සහ ඉගෙනීමේ මූලාශ්‍රවලට බදු පැනවීමේ මූල්‍යමය මෙන්ම සමාජයීය ප්‍රතිවිපාක සලකා බලන ලෙස රජයට බල කරමින් ප්‍රකාශකයින්, ලේඛකයින්, අලෙවිකරුවන්, ආනයන සහ අපනයනකරුවන් නියෝජනය කරන මෙම සංගම් විසින් ඉල්ලා සිටින්නේ, 2024 ජනවාරි 1 වන දාට පෙර තිබූ පරිදි වැට් බද්දෙන් නිදහස් අංශ ලයිස්තුවට පොත් ඇතුලත් කරන ලෙසටය.

තම යෝජනාවේ දී, මෙම සංගම් හතර පෙන්වා දී ඇත්තේ, දේශීයව පොත් නිපදවීමේදී මිනිස් ශ්‍රමය හැර අන් සියලු ද්‍රව්‍යක්ම ආනයනය කරනු ලබන අතර එහිදී, ආනයනය කරන අවස්ථාවේ සිටම ශ්‍රී ලංකාවේ පොත් කර්මාන්තය මත දැනටමත් 33.045% ක බදු ගෙවමින් ඇති බවයි. එයට අමතරව පොත්, විකුණන අවස්ථාවේ දී ද 18%ක එකතු කළ අගය මත (VAT) බද්දක් පැනවීම හේතුවෙන් බොහෝ පිරිසකට දරාගත නොහැකි වන අයුරින් පොත්වල මිල ඉහළ ගොස් ඇති අතර, කුඩා පරිමාණ ප්‍රකාශක ව්‍යාපාර වැසී යාමේ අනතුරට මුහුණ පා ඇති බවද එමගින් පෙන්වා දී තිබේ.

ප්‍රවෘත්ති සාකච්චාවකදී, මාධ්‍ය අමතමින් ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ (SLBPA) සභාපති සමන්ත ඉන්දීවර මහතා පෙන්වා දුන්නේ, නව රජයේ නියෝජිතයින් පෙර පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සිටියදී පොත් සඳහා වැට් බදු පැනවීම විවේචනය කරමින් එය ආපසු හැරවීමට එවක රජයට බලපෑම් කළ බවයි. “එබැවින් පොත් කර්මාන්තයේ ගැටළු මීලඟ අයවැයේදී විසඳනු ඇතැයි අපි අවධානයෙන් බලා සිටිමු,” යනුවෙන් ඔහු පැවසීය.

“පොත් සඳහා වැට් බදු පැනවීම නිසා කර්මාන්තයට ඇතිවන සෘජු බලපෑම් හා නොයෙකුත් විෂමතා අපි රජයේ අවධානයට යොමු කර තිබෙනවා,” යැයි ද ඔහු පැවසුවේය. “මෙහිදී ඉදිරිපත් වූ තවත් කරුණක් නම්, ප්‍රකාශන සමාගම් බහුතරයක් වැට් බදු ගෙවීමට සුදුසුකම් නොලබන කුඩා පරිමාණයේ ආයතන වන නිසා ඔවුන් දේශීයව නිෂ්පාදනය කරන පොත් වල යෙදවුම් සඳහා ගෙවන වැට් බද්ද, සහ පොත් ආනයනය සඳහා ගෙවන වැට් බද්ද නැවත ලබාගත නොහැකි තත්වයක් පැවතීමයි,” යැයි ඉන්දීවර මහතා තවදුරටත් පැහැදිලි කරමින් අනාවරණය කලේ, මහා පරිමාණ ප්‍රකාශන සමාගම් 12ක් පමණ විකුණුම් මත වැට් බද්ද ගෙවීමට සුදුසුකම් ලබා ඇති බැවින්, යෙදවුම් මත ගෙවන බද්ද අඩු කරගත හැකි වන්නේ එම සමාගම් වලට පමණක් බවයි.

කෙසේ වුවත්, සියලුම කුඩා පරිමාණයේ ප්‍රකාශකයින් මෙතෙක් තම පොත් අලෙවි කර ගැනීම සිදුකරන ලද්දේ මෙම මහා පරිමාණයේ පොත් ප්‍රකාශකයින්ගේ පොත් සාප්පු සහ පොත් බෙදා හැරීමේ ජාලය හරහා බවත්, වැට් බදු පැනවීම නිසා ඔවුන්ගේ පොත් සියල්ලම සඳහා බදු අය කෙරෙන හෙයින් කුඩා පරිමාණයේ ප්‍රකාශකයින්ට තම පොත් අලෙවි කිරීමට නොහැකි තත්වයක් ඇති බවත්, ඔහු පැවසීය.

තවත් බරපතල කරුණක් වන්නේ, පොත් සඳහා බදු පැනවීමෙන් ශ්‍රී ලංකාව විසින් අත්සන් කර ඇති, එහි ගිවිසුම්ගත රාජ්‍යක් බවට ද පත් වී ඇති, 1950 යුනෙස්කෝ ෆ්ලොරන්ස් ගිවිසුම, මෙහිදී දිගින් දිගටම උළ්ලංඝනය වීමයි. යුනෙස්කෝ ෆ්ලොරන්ස් ගිවිසුමට අනුව ආනයනය කරනු ලබන ඇතැම් අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික ද්‍රව්‍ය සඳහා රේගු බදු නොපැනවීමට ගිවිසුම්ගත රාජ්‍යයයන් බැඳී සිටියි.

“කර්මාන්තයේ නියැලෙන්නන් නැවත වරක් එකතු වී අවධාරණය කරන්නේ, පොත් සඳහා වැට් බදු පැනවීම මගින් ශ්‍රී ලංකාවේ ඉතිහාසය, සංස්කෘතිය, සාරධර්ම සහ සම්ප්‍රදායන් පිළිබඳ දැනුම ලබා ගැනීමේ ක්‍රියාවලියට දිගුකාලීන සෘණාත්මක සමාජ ආර්ථික බලපෑම් ඇති කරවන බවයි. එමෙන් ම නිර්මාණාත්මක ප්‍රකාශනය සඳහා ඇති අවස්ථා අඩපණ කරමින්, හා අධ්‍යාපනය මිල අධික කරමින්, ඇතැම් පොත් ව්‍යාපාර වසා දැමීමේ තත්වයට ද පත් වී ඇති බවයි,” යැයි ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් දිනේෂ් කුලතුංග මහතා තවදුරටත් සඳහන් කළේය.

පොත් මත පනවා තිබෙන වැට් බද්ද ඉවත් කිරීම තුළින් සමාජමය ප්‍රතිලාභ බොහෝමයක් අත්කර ගත හැකි යැයි පෙන්වා දෙන ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය, එම ප්‍රතිලාභ මෙසේ ඉදිරිපත් කර ඇත.

  • කිසියම් රටක ජනතාවකගේ චිරස්ථායී යහ පැවැත්ම උදෙසා සාහිත්‍ය භාවිතයේ වැදගත්කම අවධාරණයෙන් සැලකෙන්නකි. සංස්කෘතිකවත් මානව ජීවිතයක උදාර පරමාර්ථ සාධනය කරගනිමින්, සහසංවේදී පැවැත්මක් උදෙසා, නවකතා, කෙටිකතා, කාව්‍ය, යොවුන් හා ළමා සාහිත්‍ය ඇතුළු සමස්ත සාහිත්‍ය ධාරාවන්ගේ කාර්යභාරය යථාවත්ව පැවතීමේ අත්‍යවශ්‍ය බව.
  • බහු සංස්කෘතික සමාජයක සංහිඳියාව කෙරෙහි ද, එනයින් සමාජ සංවර්ධනය උදෙසා ද, කලාපීය සහ අන්තර්ජාතික සමානාත්මතාව හා සහයෝගිතාව වැඩිදියුණු කරගැනීම උදෙසා ද, බෙහෙවින් බලපෑම් සහගත කර්මාන්ත ක්ෂේත්‍රයක් ලෙස ග්‍රන්ථ නිෂ්පාදන කර්මාන්තය වර්ධනය වියයුතු බව පිළිගැනීම.
  • ග්‍රන්ථ නිෂ්පාදනය කර්මාන්තයක් වශයෙන් පිළිගැනීම හේතුකොට, එම ක්ෂේත්‍රයේ අභිනව ඵලදායකත්වයන්, අනිකුත් අතිශය වැදගත් ක්ෂේත්‍ර වන, අධ්‍යාපනය, නීතිය, සමාජ ඒකාබද්ධතාව ආදිය කෙරෙහි ඇති කරන ධරණීය බලපෑම මඟින් උදාර සංස්කෘතික ජීවිතයක් පිළබඳ පොදු අපේක්ෂාව ඉහළ තලයකට ඔසවා  තැබීම.

රජයට ඉදිරිපත් කළ මෙම යෝජනවට ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සමඟ සම්බන්ධ ව අත්සන් කළ පාර්ශව අතරට ශ්‍රී ලංකා ලේඛක සංගමය, සමස්ත ලංකා පොත් වෙළඳුන්ගේ සංගමය, ශ්‍රී ලංකා පොත් ආනයනකරුවන් හා අපනයනකරුවන්ගේ සංගමය ද ඇතුලත් විය.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව