ජෝන් කීල්ස් පදනම මත්ද්‍රව්‍ය භාවිතයේ ආදීනව පිළිබඳව යළිත් වරක් පාසල් දරුවන් දැනුවත් කරයි

Image 2 - Awareness Session for Students (LBN)

 



 

 

මෙරට දරුවන් අතර මත්ද්‍රව්‍ය භාවිතය භයානක ලෙස ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මත්ද්‍රව්‍ය විරෝධී සංගමය පවසයි. මේ අතරින් වැඩි වශයෙන්ම මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වී සිටින්නේ වයස අවුරුදු 11ත් 16ත් අතර දරුවන් බව ඔවුන් පෙන්වා දී තිබේ. එමෙන්ම මෙරට බරපතළම ලෙස මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් වන්නේ වයස අවුරුදු 16ත් 25ත් අතර තරුණ තරුණියන් ය. දරුවන් ඉලක්ක කර ගත් මත්ද්‍රව්‍ය ප්‍රධාන වශයෙන් රසකැවිලි ආදිය මෙන් සැකසූ වේදනා නාශක ඖෂධ වැනි ද්‍රව්‍ය වන අතර, පාසල් සහ අධ්‍යාපන ආයතන අසල ගැවසෙන ජාවාරම්කරුවන් විසින් මේවා දරුවන් වෙත අලෙවි කරනු ලබයි. දරුවන් ළමා කාලයේ දී එතරම් දරුණු නොවන මත්ද්‍රව්‍ය වෙත යොමු කර, පසුකාලීනව ඔවුන් අයිස් හෝ හෙරොයින් වැනි බරපතළ මත්ද්‍රව්‍ය භාවිතයට යොමු කර වීම මෙම ජාවාරම්කරුවන්ගේ අරමුණ වී ඇත.

මෙම ගැටලුවෙහි බරපතළකම මැනවින් හඳුනා ගනිමින්, ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ ප්‍රජා සත්කාර ඒකකය වන ජෝන් කීල්ස් පදනම 2020 වසරේ සිටම මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම සඳහා දැනුවත් කිරීම් සිදු කිරීමේ වැඩසටහන් මාලාවක් ක්‍රියාවට නංවා තිබේ. දරුවන් කුඩා අවධියේදී ම මෙම ගැටලුව පිළිබඳව ඔවුන් දැනුවත් කරමින්, මත්ද්‍රව්‍ය භාවිතය සහ ඒ ආශ්‍රිත චර්යාමය ගැටලු වැළැක්වීම මෙහි අරමුණ වී ඇත.

මෙහි තවත් පියවරක් වශයෙන්, මෙවර ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය නිවාරණ දිනයට සමගාමීව, ජෝන් කීල්ස් පදනමේ ‘ප්‍රජා ශක්ති’ වැඩසටහන් ක්‍රියාත්මක වන ජාඇල ප්‍රදේශයේ පාසැල් ඉලක්ක කරගෙන දැනුවත් කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදි. යහපත් පුරුදු සහ ජීවන රටාවන් තුළින් මත්ද්‍රව්‍ය භාවිතය සහ ඇබ්බැහිය පිටුදැකීම සඳහා තරුණ පරපුර සවිබල ගැන්වීම අරමුණු කර ගෙන පැවැත්වුණු මෙම වැඩසටහන වෙත ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ දායකත්වය ද හිමි විය. 2023 ජූනි 28 වන දින පැවති මෙම වැඩසටහනට ප්‍රදේශයේ පාසල් 5ක ශිෂ්‍ය ශිෂ්‍යාවන් 71 දෙනෙකු සහභාගී වූ අතර, මත්ද්‍රව්‍ය භාවිතයේ භයානක ප්‍රතිඵල, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම සිදු වන ආකාරය සහ ඉන් මිදීම සඳහා අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග ආදිය සම්බන්ධයෙන් එහිදී ඔවුන් දැනුවත් කරන ලදි. මත්ද්‍රව්‍ය භාවිතයේ ප්‍රතිවිපාක පිළිබඳව තරුණ පරපුර දැනුවත් කරමින්, මත්ද්‍රව්‍ය භාවිතයෙන් තොර සහ වඩාත් නිරෝගී ප්‍රජාවන් බිහි කිරීම ජෝන් කීල්ස් පදනමේ මෙම ප්‍රයත්නයන්හි මූලික ඉලක්කය වී තිබේ.

මෙම දැනුවත් කිරීමේ වැඩසටහනට සමගාමීව ජෝන් කීල්ස් පදනම විසින් පවත්වන ලද චිත්‍ර තරගයට ශිෂ්‍ය ශිෂ්‍යාවන් 15 දෙනෙකු සහභාගී වූ අතර, එය මෙම වැඩසටහන අතරතුර ලබාගත් දැනුම ඔවුන් ග්‍රහණය කරගෙන ඇති ආකාරය සමාලෝචනය කිරීමට ලැබුණු අගනා අවස්ථාවක් විය.

ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ නවතම වාර්තා අනුව, ජාඇල ප්‍රදේශය මත්ද්‍රව්‍ය භාවිතය බහුලව සිදුවන ප්‍රදේශයක් ලෙස හඳුනාගෙන ඇති නිසා, මෙම දැනුවත් කිරීමේ වැඩසටහන එම ප්‍රදේශයේ සංවිධානය කිරීමට ජෝන් කීල්ස්  පදනම කටයුතු කළේ ය. මීට අමතරව, ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය නිවාරණ දිනය සැමරීමක් වශයෙන්, යෞවන යෞවනියන් සහ දෙමාපියන් ඉලක්ක කරගෙන ‘මත් රකුසාට එරෙහිව එක්ව නැගී සිටිමු’ යන තේමාව යටතේ සමාජ මාධ්‍ය ප්‍රවර්ධන වැඩසටහනක් ද දියත් කරන ලදි.

මීට පෙරද අවස්ථා රැසක දී ජෝන් කීල්ස් පදනම මෙරට දරුවන් අතර මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම සඳහා විවිධ මැදිහත් වීම් සිදු කර තිබේ. ‘සෞඛ්‍යය’ යන ප්‍රධාන ප්‍රජා සත්කාර ක්ෂේත්‍රය යටතේ 2020 වසරේදී මත්ද්‍රව්‍ය භාවිතයේ ආදීනව පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාව දියත් කිරීමෙන් අනතුරුව මේ වන විට ජෝන් කීල්ස් පදනම මගින් පෙර පාසල් ගුරුවරුන්, දෙමාපියන්, සිසුන් සහ රජයේ කාර්යාල ඉලක්ක කරගනිමින්, කොළඹ 02, හික්කඩුව සහ ජාඇල යන ප්‍රජා ශක්ති ප්‍රදේශ තුළ දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් පවත්වා ඇති අතර, කොළඹ 02 ප්‍රදේශයේ දී මහජනතාව වෙනුවෙන් ද දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලදි. එමෙන්ම මත්ද්‍රව්‍ය භාවිතයේ ප්‍රතිවිපාක, මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවන් හඳුනා ගන්නා ආකාරය සහ මත්ද්‍රව්‍ය භාවිතයෙන් මිදීම සඳහා ලබාගත හැකි සහයෝගයන් ආදිය පිළිබඳව දැනුවත් කිරීම සඳහා සෑම වසරකදීම විවිධ තේමාවන් යටතේ සමාජ මාධ්‍ය ප්‍රවර්ධන වැඩසටහන් ද ක්‍රියාවට නැංවේ. මේ දක්වා මෙම ක්‍රියාකාරකම්වලින් සෘජුව සෙත සැලසුණු සංඛ්‍යාව 29,098කට අධික ය.

ඉදිරියටත් දරුවන් අතර මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීමට මැදිහත් වෙමින්, රටේ තරුණ පරපුර වඩාත් සුරක්ෂිත සහ නිරෝගී පිරිසක් බවට පත්කිරීම සඳහා ජෝන් කීල්ස් පදනම කැප වී සිටී.

කොළඹ කොටස් වෙළඳ පොළේ විශාලතම ලැයිස්තුගත සමාගම වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී පරිපාලිත සමාගමක් ද වේ. විවිධාංගීකෘත කර්මාන්ත අංශයන් 7ක පවතින සමාගම් 70කට වැඩි ප්‍රමාණයක් මෙහෙයවනු ලබන JKH ආයතනය සේවක සේවිකාවන් 14,000 කට අධික පිරිසකට රැකියාවන් ලබා දෙන අතර වසර 18 ක් පුරා ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය ආයතනය ලෙස LMD සඟරාව මගින් ශ්‍රේණිගත කර ඇත. ‘ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා’ විසින් සිද කරන ලද ආයතනික වාර්තාකරණයේ විනිවිදභාවය ඇගයීමේ සමීක්ෂණයේදී ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී අඛණ්ඩව තුන්වන වසරටත් ප්‍රථම ස්ථානයට පත් විය. ලෝක ආර්ථික සංසදයේ පූර්ණ සාමාජිකයෙකු සහ එක්සත් ජාතීන්ගේ ගෝලීය සංයුක්තයේ සහභාගිකයෙකු වන ජෝන් කීල්ස්, ජෝන් කීල්ස් පදනම හරහා සහ සමාජ ව්‍යවසායකත්ව මුලපිරීම හරහා “බලගන්වමු දේශය හෙට දිනට” පිළිබඳ දැක්ම මෙහෙයවන අතර, Plasticcycle සමාජ ව්‍යවසායකත්ව වැඩසටහන හරහා ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් දූෂණය සැලකිය යුතු ලෙස අඩු කිරීමේ උත්ප්‍රේරකයක් ලෙසින් ද ක්‍රියා කරයි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව