
2025 පෙබරවාරි 18: ඩොලර් බිලියන 1ක ආයෝජනයකින් මන්නාරම සහ පුනරින් හි 484 MW පුනර්ජනනීය බලශක්ති සුළං බලාගාර දෙකක් සහ සම්ප්‍රේෂණ පද්ධතියක් පිහිටුවීමට යෝජනා කර ඇති ඉන්දියාවේ Adani Green Energy සමාගම, එම ව්‍යාපෘතියෙන් “ගෞරවනීය ලෙස” ඉවත් වන බව පසුගිය සතියේ නිවේදනය කරනු ලැබීය. මෙය ඍජු විදෙස් ආයෝජන (FDI) ආකර්ෂණය කර ගැනීමට මෙන්ම හරිත ආර්ථිකයක් වර්ධනය කිරීමට උත්සාහ ගනිමින් සිටින රටකට සිදු කරනුයේ සුවිශාල පසුබෑමක් බව අමුතුවෙන් කිව යුතු නැත.
කෙසේ වෙතත්, ඇතැම් විශ්ලේෂකයින් සාවද්‍ය ලෙස ගොඩනඟන ලද උපකල්පන මත පදනම් වෙමින් සඳහන් කළේ, අදානිගේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුවහොත්, ව්‍යාපෘති කාලය තුළ එනම් වසර 20ක් තුළ, ශ්‍රී ලංකාවට ඩොලර් බිලියනයකට වඩා අහිමි වනු ඇති බවයි. කෙසේ වෙතත්, යථාර්ථවාදීව කිවහොත්, සත්‍ය ඊට වඩා සපුරා වෙනස්ය. එවැනි පරිමාණයකින් සහ ප්‍රමාණයකින් යුත් ව්‍යාපෘතියක් සිදු නොවන්නේ නම්, ශ්‍රී ලංකාවට පොසිල ඉන්ධන ආනයනයෙන් පමණක් එම ප්‍රමාණය මෙන් පස් ගුණයකට වඩා අහිමි වනු ඇත.
ඔවුන්ගේ ගණනය කිරීම් සඳහා පදනම් කරගෙන තිබුණේ එවැනි පරිමාණයේ කිසිදු පූර්ව ව්‍යාපෘති අත්දැකීමක් නොමැති දේශීය සංවර්ධකයින් විසින් උපුටා දක්වන ලද බල ඒකකයකට USC 4.65ක් වන අගය සමඟ සසඳමිනි. අදානි විසින් ඉදිරිපත් කළ USC 8.26 අගය සඳහා වන පුනර්ජනනීය බලශක්ති (RE) ධාරිතාව 10 GW ඉක්මවන අතර, තවත් 20+ GW ප්‍රමාණයක් ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමේ අදියරේදී එක් වනු ඇත.
ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ ව්‍යාපෘතිය හැරුණු විට, අදානි සමාගම තම මව් රටේදී 3-4 GW ධාරිතාවයෙන් යුතු ව්‍යාපෘති වාර්ෂිකව සම්පූර්ණ කරන අතර විශ්වසනීයත්වය සඳහා එය මනා තහවුරුවක් ද සපයයි. මෙය 100%ක් ඍජු විදේශ ආයෝජනයක් ලෙස ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අතර දේශීය බැංකුවක මැදිහත් වීමක් නොමැති නිසා කිසියම් පැහැර හැරීමක් හෝ ප්‍රමාදයක් සිදුවුවහොත් ස්වෛරීභාවයට කිසිදු පීඩනයක් ද එල්ල නොවේ. අනෙකුත් දේශීය සංවර්ධකයින් සම්බන්ධයෙන් ද මෙම තත්ත්වය මෙසේ වන බවට සහතික වශයෙන්ම කිව හැකිද?
ශ්‍රී ලංකාවේ බලශක්ති ගතිකත්වය ඉහළ නැංවීමට මෙන්ම රට ස්වයං පෝෂිත මට්ටමට සමීප කිරීමට මෙන්ම පොසිල ඉන්ධන මත යැපීම අවම කළ හැකි මෙවැනි පරිමාණයේ දැවැන්ත ව්‍යාපෘති ශ්‍රී ලංකාව මින් පෙර අත්දැක නොමැත. අදානි ව්‍යාපෘතිය මඟින් ඉන්ධන සඳහා වාර්ෂිකව වැය කරන ඇමරිකානු ඩොලර් 270+ ක මුදලක් ඉතිරි කරගැනීමට අවස්ථාව සැලසෙනු ඇත. එමෙන්ම, මෙම ව්‍යාපෘතිය මඟින් වසරකට විදුලි ඒකක මිලියන 1,500ක් ජනනය කරනු ඇති අතර, එමඟින් නිවාස මිලියන 0.6ක බලශක්ති ඉල්ලුම සපුරාලීමට හැකි වනු ඇත. එය වසරකට CO2 ටොන් මිලියන 1.06 ක විමෝචනය අඩු කිරීමට සමාන වන අතර, එවැනි වළක්වා ගැනීමක් මඟින් වසරකට ලැබිය හැකි ආර්ථික ප්‍රතිලාභය ඇමරිකානු ඩොලර් මිලියන 100ක් වනු ඇත.
තීරුබදු සම්බන්ධයෙන් සලකා බලන විට, අදානි සමාගමේ තීරුබද්ද USC 8.26ක් වන අතර එය වසර 20ක් සඳහා ස්ථාවර ගාස්තුවකි. මුලින් අඩු තීරුබදු ලබා දී, පසුව පාරිභෝගිකයා මත සැඟවුණු ගාස්තු පටවන මිලෙන් අධික ව්‍යාපෘති මෙන් නොව.
CEB දත්ත වලට අනුව, ගල් අඟුරු විදුලිය සඳහා ඒකකයකට පිරිවැය USC 12.52ක් සහ ඛණිජ තෙල් විදුලිය සඳහා පිරිවැය USC 26.99ක් විය. එය ස්වාධීන තාප බලාගාර (IPP) වලින් USC 14 – 30 දක්වා පරාසයක විදුලිය මිලදී ගෙන තිබුණි. මෙම ව්‍යාපෘතිය නොමැති වීමෙන්, ව්‍යාපෘති කාලය තුළ ශ්‍රී ලංකාව අදානි සමාගම වෙත අතිරික්ත ගාස්තු ගෙවනවාද නැද්ද යන්න විවාදාත්මක වුවද, ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොවීම නිසා නිශ්චිතව සිදුවන දෙය නම්, එම කාලය තුළ විදුලිබල උත්පාදනය සඳහා පොසිල ඉන්ධන ආනයනය කිරීමට ශ්‍රී ලංකාවට නිසැකවම ඩොලර් බිලියන 5.5ක් ගෙවීමට සිදුවීමයි. (ඒ වත්මන් මිලට වන අතර අනාගතයේදී බොරතෙල් මිල ඉහළ ගියහොත්, එම මුදල ද දැරීමට සිදුවනු ඇත).
පොසිල ඉන්ධන මත පදනම් වූ බලාගාරවලට ඉන්ධන ආනයනය කිරීම සඳහා වටිනා විදේශ විනිමය වැය කිරීමට සාපේක්ෂව අදානි සමාගමට ලංකා රුපියල්වලින් ගෙවීම් කළ හැකි බව ද මෙහිදී සැලකිල්ලට ගැනීම වැදගත්ය. මෙම ව්‍යාපෘතිය මඟින් රජයේ විදුලි මිලදී ගැනීමේ පිරිවැය අඩු කර ගත හැකි අතර, ගෘහස්ථ විදුලි බිල අඩු කිරීමට ද මෙය හේතුවනු ඇත. වසරකට විදුලි ඒකක මිලියන 1,500ක් වන විට, රජයේ විදුලි මිලදී ගැනීමේ පිරිවැය වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 83කින් (රුපියල් බිලියන 25ක් පමණ) අඩු වනු ඇත. මෙම අඩු කිරීම පාරිභෝගිකයින්ගේ විදුලි ගාස්තු ඒකකයක් රුපියල් 17කින් අඩු කිරීමට අනුරූප වේ. බලශක්ති බිල්පත් පිරිවැය අඩු කිරීම යනු තවත් අතකට පාරිභෝගිකයන් අතට මුදල් ලබා දීම හා සමාන වූවකි.
පාරිසරික වශයෙන් ද මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවට තිරසාරභාවය පිළිබඳ ඉලක්ක සපුරා ගැනීමට උපකාරී වනු ඇති බව නොරහසකි. 2030 වන විට පුනර්ජනනීය බලශක්ති (RE) උත්පාදනය 70%ක් බවට පත් කරමින්, 2050 වන විට කාබන් උදාසීන කීරීමේ ඉලක්කයක් ශ්‍රී ලංකාවට ඇත. 2024 මූල්‍ය වර්ෂයේදී, අපගේ මුළු විදුලි ජනනයෙන් 54%ක් පොසිල ඉන්ධන මඟින් සිදු කරන ලද අතර, සූර්ය හෝ සුළං මඟින් 8%කට වඩා අඩු ප්‍රමාණයක් සහ ජල විදුලියෙන් 31%ක් විදුලිය නිෂ්පාදනය සඳහා දායක විය. ඉදිරි වසර 25 තුළ, ශ්‍රී ලංකාවේ බලශක්ති ඉල්ලුම වාර්ෂිකව ~5%ක අනුපාතයකින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන අතර, 2050 වන විට අපගේ තිරසරභාවය පිළිබඳ අරමුණු සපුරාලීම සඳහා, ~7,000 MWක ධාරිතාවකින් යුත් නැවුම් පුනර්ජනනීය බලශක්ති ධාරිතාවක් ජාතික පද්ධතියට එකතු කිරීමට අවශ්‍ය වනු ඇත. ඒ සඳහා අපට මහා පරිමාණ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති නිසැක වශයෙන්ම අවශ්‍ය වේ.
ඒකක ගාස්තු අඩු කිරීම, විදේශ විනිමය සංචිත මත යැපීමේ බලපෑම අවම වීම, පොසිල ඉන්ධන අවශ්‍යතා කපා හැරීමෙන් ආනයන පිරිවැය අඩු වීම, තිරසරභාවය පිළිබඳ ඉලක්ක සපුරා ගැනීම සහ දේශීය ආර්ථිකය පෝෂණය කිරීම යනු අදානි සමාගම සැබවින්ම ඉවත් වුවහොත් අපට අහිමි වන දේවල්වලින් කිහිපයකි. මේවා අපටම පිරිමසා ගත හැක්කේ කෙසේදැයි අප අපෙන්ම ප්‍රශ්න කළ යුතුය.