
- විශ්වසනීයත්වය සහ කාර්යසාධනය පිළිබඳ නව ප්රමිතීන් සමඟ කොළඹ වරායේ පළමු පූර්ණ ස්වයංක්‍රීය පර්යන්තයේ මෙහෙයුම් ආරම්භ කෙරේ.
- කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්තය (CWIT) මඟින් කොළඹ වරායේ ධාරිතාව සැලකිය යුතු ලෙස ඉහළ නංවනු ඇති අතර, තදබදය අවම කරමින් සමස්ත කාර්යක්ෂමතාව වර්ධනය කරනු ඇත.
- CWIT ව්‍යාපෘතිය මඟින් රැකියා උත්පාදනය කිරීමටත්, ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදනයට අර්ථවත් දායකත්වයක් ලබා දීමටත්, දිගු කාලීන ආර්ථික සංවර්ධනයට දායක වීමටත් අපේක්ෂා කෙරේ.
අහමදාබාද් සහ කොළඹ, 2025 අප්‍රේල් 07: ඉන්දියාවේ විශාලතම ඒකාබද්ධ ප්‍රවාහන උපයෝගීතා සේවාව වන Adani Ports and Special Economic Zone Ltd. (APSEZ), කොළඹ වරායේ පිහිටා ඇති කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්තයේ (CWIT) මෙහෙයුම් ආරම්භ කරන බව නිවේදනය කර තිබේ.
සුවිශේෂී රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වයක් යටතේ CWIT සංවර්ධනය කිරීම, ඉන්දියාවේ විශාලතම වරාය මෙහෙයුම් ක්‍රියාකරු වන Adani Ports & SEZ Ltd, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමූහ ව්‍යාපාරයක් වන John Keells Holdings PLC හා ශ්‍රී ලංකා වරාය අධිකාරිය යන පාර්ශව ත්‍රිත්වයේ ඒකාබද්ධ ආයතනයක් යටතේ සිදුවනු ඇති අතර, මේ යටතේ ඉදිකිරීම, මෙහෙයුම් හා හුවමාරුව (BOT) යන කරුණුවලට අදාළව වසර 35ක කාලයක් මෙම ගිවිසුම ක්‍රියාත්මක වීමට නියමිතය.
CWIT ව්‍යාපෘතිය ඇ.ඩො. මිලියන 800ක දැවැන්ත ආයෝජනයක් වන අතර මේ යටතේ, මීටර් 1,400ක දිගින් සහ මීටර් 20ක ගැඹුරකින් යුතු වරාය වේදිකාවක් ඉදි කිරීමට යෝජිතය. මෙමඟින් අඩි 20 බහාලුම් ඒකක (TEU) ආසන්න වශයෙන් මිලියන 3.2ක් වාර්ෂිකව පර්යන්තය තුළ හැසිරවීමේ හැකියාව ලැබේ. භාණ්ඩ නෞකා හැසිරවීමේ හැකියාව වැඩි දියුණු කිරීම, යාත්‍රා රැඳවුම් කාලය අවම කිරීම සහ දකුණු ආසියාවේ ප්‍රධාන ප්‍රතිනැව්ගත කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස කොළඹ වරායේ තත්ත්වය ඉහළ නැංවීම සඳහා නිර්මාණය කරන ලද, සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය අංගනයක් වූ මෙය කොළඹ වරායේ ප්‍රථම ගැඹුරු ජල පර්යන්තය ද වේ.
2022 වසරේ මුල් භාගයේ මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරුණු අතර, එතැන් සිට වේගවත් ප්‍රගතියක් අත්කරගෙන ඇත. අති නවීන යටිතල පහසුකම් සමඟ මේ වන විට අවසන් අදියරේ ඉදිකිරීම් කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතින CWIT, කලාපීය සමුද්‍ර සැපයුම්වල මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ විශ්වසනීයත්වය පිළිබඳ නව මිනුම් දඬු සලකුණු කරන්නට සූදානමින් සිටියි.
“CWIT හි මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර කලාපීය සහයෝගීතාවයේ වැදගත් සන්ධිස්ථානයක් සලකුණු කරනු නොඅනුමානයි.” යනුවෙන් මේ පිළිබඳ අදහස් දැක්වූ අදානි සමූහයේ සභාපති ගෞතම් අදානි මහතා සඳහන් කළේය. “මෙම පර්යන්තය ඉන්දියානු සාගර වෙළඳාමේ අනාගතය නියෝජනය කරනවා පමණක් නොව, මෙය විවෘත කිරීම මඟින්, ගෝලීය සමුද්‍ර සිතියමේ ශක්තිමත් ස්ථානයක් හිමි වීම ගැනත් ශ්‍රී ලංකාවට ආඩම්බර විය හැකියි. CWIT ව්‍යාපෘතිය දේශීය වශයෙන් ඍජු හා වක්‍ර රැකියා දහස් ගණනක් නිර්මාණය කරන අතර, මේ තුළින් දිවයිනට දැවැන්ත ආර්ථික වටිනාකමක් විවෘත කර දෙනු ඇත. එය අසල්වැසියන් වූ අප අතර ඇති මුල් බැසගත් මිත්‍රත්වය සහ වර්ධනය වන උපායමාර්ගික සබඳතා මෙන්ම දූරදර්ශී රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වයක් තුළින් ළඟා කරගත හැකි ජයග්‍රහණ සම්බන්ධයෙන් ද දිය හැකි දීප්තිමත් උදාහරණයක්. වාර්තාගත කෙටි කාලයක් තුළ මෙවැනි ජාත්‍යන්තර ප්‍රමිතියේ පරිශ්‍රයක් ලබා දීම මඟින්, ලෝකයේ ඕනෑම තැනක තීරණාත්මක මහා පරිමාණ යටිතල පහසුකම් ව්‍යාපෘතියක් කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීමට අදානි සමූහයට ඇති හැකියාව ද මැනවින් පෙන්නුම් කරයි.”
“කලාපීය සමුද්‍ර කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ තත්ත්වය ශක්තිමත් කරන ව්‍යාපෘතියක් වන මෙම බටහිර බහාලුම් පර්යන්තයේ සංවර්ධන ප්‍රගතිය දැකීම අපට ඉමහත් ආඩම්බරයක්.” ජෝන් කීල්ස් සමූහයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා සඳහන් කළේය. “මෙම ව්‍යාපෘතිය ජෝන් කීල්ස් සමූහයේ විශාලතම ආයෝජනවලින් එකක් වන අතර, ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශය විසින් සිදු කළ සුවිශේෂීම ආයෝජනයක් ද වනවා. ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ අදානි සමූහය සමඟ එක්ව කොළඹ වරාය, ප්‍රමුඛතම ප්‍රතිනැව්ගත කිරීමේ මධ්‍යස්ථානයක් බවට පත් කරන්නට අපි සූදානම්. මෙම ව්‍යාපෘතිය කලාපයේ ගෝලීය වෙළඳාම සහ සම්බන්ධතාව වැඩි දියුණු කරනු ඇතැයි අපට විශ්වාසයි.”