ටෝකියෝ සිමෙන්ති සමූහය 2021/22 වර්ෂයේ 3වන කාර්තුව සඳහා ගිණුම් ප්‍රතිඵල නිවේදනය කරයි

tokyo-cement-300x300

 



 

 

 

කාර්තුව සඳහා මූල්‍ය සමාලෝචනය

ටෝකියෝ සිමෙන්ති සමූහය (ටෝකියෝ සිමෙන්ති) 2021 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ සඳහා සිය ගිණුම් වාර්ථා ප්‍රකාශයට පත්කරමින් රුපියල් මිලියන 13,771ක පිරිවැටුමක් වාර්තා කරයි. පසුගිය වසරේ 3වන කාර්තුව සමඟ සැසඳීමේදී එම කාලසීමාව තුළ උපයාගත් රු. මිලියන 11,456ක පිරිවැටුමට සාපේක්ෂව මෙය 20% ක වාර්ෂික වර්ධනයක් පිළිබිඹු කරයි. පිරිවැටුම ඉහළ ගියද සමාගමේ විකුණුම් පරිමාව පසුගිය වසරේ 3වන කාර්තුවට සාපේක්ෂව 3% කින් පහත බැස ඇති අතර, ගෝලීය සිමෙන්ති නිෂ්පාදන අමුද්‍රව්‍ය සැපයුම් දාමයේ පැවති හිඟය සහ ප්‍රමාදයන් මීට ප්‍රමුඛතම හේතූන් ලෙස සමාගම දක්වයි.

3වන කාර්තුව සඳහා සමූහය විසින් බදුවලට පෙර ලාභය ලෙස රු. මිලියන 1,986ක් උපයා ඇති අතර, එම අගය, පසුගිය වසරේ එම කාර්තුව සඳහා උපයාගත් රු. මිලියන 1,442ට සාපේක්ෂව 38%ක වර්ධනයක් පෙන්වයි. පසුගිය වසරේ එම කාලය තුල උපයාගත් බදු වලට පසු ලාභය වූ  රු. මිලියන 1,303ට සාපේක්ෂව, මෙම වසරේ 3වන කාර්තුව සඳහා රු. මිලියන 1,649 ක බදු වලට පසු ලාභයක් ටෝකියෝ සිමෙන්ති සමූහය විසින් වාර්තා කර ඇත.

උපරිම සිල්ලර මිල සංශෝධනය

අමුද්‍රව්‍යවල මිල සහ නැව් ප්‍රවාහන ගාස්තු වැඩිවීම නිසා දේශීය නිෂ්පාදන පිරිවැය සැලකිය යුතු ලෙස ඉහළයාම සහ රුපියලේ අවප්‍රමාණය වීම හේතුවෙන් නොවැම්බර් මස 7වනදා සිට කිලෝ50ක සිමෙන්ති කොට්ටයක සිල්ලර මිල රු.1,275/- දක්වා ඉහළ නැංවීමට සිමෙන්ති නිෂ්පාදකයන්ට සිදුවිය. 2019යේ සිමෙන්ති මත බලපැවති උපරිම සිල්ලර මිල වූ රු.1,095/- සමඟ සැසඳීමේදී මෙම 16% ක මිල සංශෝධනය, එම කාලවකවානුව තුල සියලුම ස්ථාවර වියදම් අඛණ්ඩව ඉහළගිය පසුබිමක සහ අනෙකුත් සියළු ගොඩනැගිලි ද්‍රව්‍යවල වැඩිවූ මිල ගණන්වලට සාපේක්ෂව අවම මිල වැඩිවීම් ප්‍රතිශතය ලෙස සටහන් කළහැක. නැව් ප්‍රවාහන ගාස්තු සහ අමුද්‍රව්‍ය මිල තවදුරටත් ඉහළ යාම නිසා කිලෝ50ක සිමෙන්ති කොට්ටයක වත්මන් සිල්ලර මිල රු.1,375/- දක්වා ජනවාරි 1වනදා සිට ඉහළ නංවනු ලැබිනි.

ව්‍යාපාරික පසුබිම සහ වෙළඳපොල තත්ත්වය

පසුගිය කාර්තුවේ පැවති පරිදි දැඩි සංචරණ සීමා පැනවීම් හෝ රට වසා දැමීමක් මෙම 3වන කාර්තුවේ සිදුනොකෙරුනු අතර, එබැවින්, සාමාන්‍ය පරිදි ව්‍යාපාරික කටයුතු සහ ආර්ථික ක්‍රියාකාරකම් පවත්වාගෙන යෑමට අවකාශ සැලසින. නමුත්, ඔක්තෝම්බර්-නොවැම්බර් මාස පුරා පැවති අධික වර්ෂාපතන සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් බොහෝමයක් ඉදිකිරීම් ආශ්‍රිත කටයුතුවල මන්දගාමී ස්වභාවයක් පැවතිනි.

විදෙස් සංචිත හිඟවීමත් සමඟම බැංකු හරහා ණයවර ලිපි විවෘත කිරීමේදී හටගත් ප්‍රමාදයන් හේතුවෙන්, සිමෙන්ති, ටයිල්, ඉදිකිරීම් අමුද්‍රව්‍ය සහ ගෘහස්ථ උපාංග ඇතුළු සෑම අත්‍යවශ්‍ය ගොඩනැගිලි ද්‍රව්‍යයකම පාහේ දැඩි වෙළඳපොල හිඟයක් මෙම කාර්තුව තුල මතුවිය. මෙම ගොඩනැගිලි ද්‍රව්‍ය හිඟය හේතුවෙන්, වැඩබිම් වල ශ්‍රමිකයන්ට සහ යන්ත්‍රෝපකරණ වලට සිය දෛනික ඉදිකිරීම් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යෑමට නොහැකි වීමෙන් ව්‍යාපෘති අකර්මණ්‍ය වීම ව්‍යාපෘති පිරිවැය කෙරෙහි විශාල බලපෑමක් එල්ල කෙරිනි.

මෙම වෙළඳපොල හිඟය වඩාත් උග්‍රවීමට බලපෑ තවත් හේතුවක් වූයේ, දැනට බලපැවැත්වෙන දැඩි ආනයනික සීමාවන් නිසා ආනයනකරුවන් විසින් සිමෙන්ති ආනයනය විශාල ලෙස අඩු කිරීම හෝ මුළුමනින්ම නවතා දැමීමයි. ටෝකියෝ සිමෙන්ති සමාගම විසින් සිය වෙළඳජාලය පුරා උපරිම සිල්ලර මිල බලාත්මක කළද, සිමෙන්ති හිඟයක් ඇතිවීමත් සමඟම බෑගයේ සඳහන් මිලට වඩා අධික මිල ගණන් යටතේ සිමෙන්ති අලෙවි කෙරෙන ද්වීතීයික වෙළඳපොලක් නිර්මාණය වීමට මෙම තත්ත්වය හේතුපාදක විය.

වෙළඳපොල සමාලෝචනය

මෙම වසරේ 3වන කාර්තුවේ ටෝකියෝ සිමෙන්ති සමාගමේ විකුණුම් පරිමාව පසුගිය වසරේ 3වන කාර්තුවට වඩා 3% කින් පහත බැසීමට, සමාගමේ නිපැයුම් දාමය මත බලපෑ අවහිරතා කිහිපයක් හේතුවිය. ණයවර ලිපි විවෘත කිරීමේදී ඇතිවූ ප්‍රමාදයන් නිසා, දේශීය නිෂ්පාදන ක්‍රියාවලියට අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය අඛණ්ඩව කිරීමට මෙන්ම, නිමි භාණ්ඩයක් ලෙස සිමෙන්ති ආනයනය සැලසුම්ගත කාලවකවානුවන්ට අනුව සිදුකිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතවිය.

මීට අමතරව, කාර්තුවේ අවසාන භාගයේ ටෝකියෝ සිමෙන්ති කර්මාන්තශාලාවේ එක් ඇඹරුම් යන්ත්‍රයක් සති දෙකකට වැඩි කාලයක් බිඳවැටීමකට ලක්වීම නිසාත් අපගේ දේශීය නිෂ්පාදන ක්‍රියාවලියේ මඳ පසුබෑමක් ඇතිවිය. මෙම තත්ත්වය යටතේ දේශීය නිෂ්පාදන පරිමාව අඩුවීමෙන් ඇතිවූ පරතරය පියවා වෙළඳපොළට අඛණ්ඩ සිමෙන්ති සැපයුමක් සහතික කරනු පිණිස මෙම 3වන කාර්තුවේ බෑග් සහ තොග වශයෙන් පිටරටින් ගෙන්වූ සිමෙන්ති පරිමාව, පසුගිය වසරේ එම කාලසීමාව තුල ගෙන්වන ලද ප්‍රමාණයට වඩා 20%කින් වැඩි කිරීමට ටෝකියෝ සිමෙන්ති සමාගම කටයුතු කරන ලදී.

මෙම සියළු උත්සාහයන්ගේ ප්‍රථිපලයක් ලෙස, පසුගිය වසරේ 3වන කාර්තුවේ 35%ක් ලෙස පැවති ටෝකියෝ සිමෙන්ති සමාගමේ වෙළඳපොළ පංගුව, දැඩි අභියෝගාත්මක ව්‍යාපාරික පරිසරයක් පැවති මෙම වසරේ 3වන කාර්තුවේ ද එලෙසම පවත්වා ගැනීමට සමාගම සමත් විය.

ඉදිරි දැක්ම

ඉහළ යන භාණ්ඩ ප්‍රවාහන පිරිවැයට අමතරව, අඛණ්ඩව ඉහළ යන ගෝලීය ගල් අඟුරු සහ තෙල් මිල, අමුද්‍රව්‍යවල මිල තවදුරටත් ඉහළ දැමීමට දායක වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඔමික්‍රෝන් වෛරස් ප්‍රභේදයේ ව්‍යාප්තියෙන් ගෝලීය ආර්ථිකයට එල්ලවන බලපෑම් නිසා අමුද්‍රව්‍ය මිල ගණන් වැඩිවීමට මෙන්ම සැපයුම් ජාලය අඩපණ වීමට ද වැඩි ඉඩකඩක් පවතී. රට තුල ආසාදිතයන් සංඛ්‍යාව ඉහළයාම, ආර්ථික ක්‍රියාකාරකම් අඩපණ වීමට සහ විශේෂයෙන්ම ඉදිකිරීම් ක්ෂේත්‍රයේ එලදායිතාව අඩුවීමට ද හේතුවිය හැක.

බාධාවකින් තොර සැපයුමක් සහතික කිරීම සඳහා, සැපයුම් දාමය උපරිම ධාරිතාවයෙන් පවත්වා ගැනීමට ටෝකියෝ සිමෙන්ති සමාගම අපේක්ෂා කරයි. එම ඉලක්කය සපුරාලනුවස්, අපගේ නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම සඳහා වැදගත් වන උපායමාර්ගික සැලසුම් දෙකක් මේ වනවිට ටෝකියෝ සිමෙන්ති සමාගම දියත් කොට ඇත.

මින් පළමුවැන්න ලෙස, සමාගමේ දේශීය නිෂ්පාදන ධාරිතාව මෙට්‍රික් ටොන් මිලියන 1කින් වැඩි කිරීම උදෙසා කර්මාන්තශාලා පහසුකම් පුළුල් කිරීමේ ව්‍යාපෘතියට මුල්ගල් තැබීම පසුගියදා ත්‍රිකුණාමලයේ දී සිදුකෙරිනි. 2023 මුල් භාගයේ නිම කිරීමට සැලසුම් කර ඇති මෙම ව්‍යාපෘතිය, ටෝකියෝ සිමෙන්ති සමූහයේ සම්පූර්ණ ස්ථාපිත නිපැයුම් ධාරිතාව මෙට්‍රික් ටොන් මිලියන 4 දක්වා ඉහළ නංවනු ඇත. මින් දෙවැන්න වන්නේ, කොළඹ වරාය පර්යන්තයේ පිහිටි ටෝකියෝ සිමෙන්ති තොග ගබඩා සහ බෙදාහැරීමේ මෙහෙයුම් සංකීර්ණයේ ධාරිතාවය ද මෙට්‍රික් ටොන් මිලියන 1ක් දක්වා පුළුල් කිරීමේ ආයෝජන ව්‍යාපෘතියයි. ඉදිරි කාර්තුවේදී සක්‍රියවීමට නියමිත මෙම ව්‍යාපෘතියෙන් සමාගමේ තොග සිමෙන්ති ආනයන සහ ඇසුරුම්කරණ මෙහෙයුම් ධාරිතාවය වසරකට මෙට්‍රික් ටොන් 600,000 සිට මෙට්‍රික් ටොන් 1,000,000 දක්වා ඉහළ නංවන අතර, එමඟින් දිවයින පුරා විසිරී සිටින පාරිභෝගිකයන් සඳහා අඛණ්ඩ සිමෙන්ති සැපයුමක් සහතික කිරීමට ටෝකියෝ සිමෙන්ති සමාගමට හැකියාව ලැබේ.

ජාතික ආර්ථිකය සම්බන්ධයෙන් ගත් කල, රටේ විදේශ සංචිත ඉහළ නැංවීම සඳහා කෙටි කාලීනව ඩොලර් ප්‍රේෂණ සහ ආයෝජන ආකර්ශනය කර ගැනීමට ඉක්මන් ක්‍රියාමාර්ග ගතයුතු අතර විදෙස් ආයෝජකයින්ගේ විශ්වාසය ස්ථිරකරවීම සඳහා වඩාත් පුළුල් ප්‍රවේශයන් සහිත වැඩපිළිවෙලක් වහා ක්‍රියාත්මක කළ යුතුය.

දේශීය නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා ආනයනය කරනලද අමුද්‍රව්‍ය සඳහා ගෙවීමට සැපයුම්කරුවන් විසින් සමාගමට ලබාදෙන දින 180කට වැඩි ණය කාලසීමාව ඇතුලත, දේශීය මුදල් ඒකකයේ යම්කිසි අවප්‍රමාණය වීමක් වුවහොත්, සමාගම විසින් මෙම කාලසීමාව සඳහා වාර්තා කර ඇති ලාභ ගණනය කිරීම මත බලපෑමක් සිදුවනුඇත.

දේශීය ආර්ථිකයේ දිගුකාලීන ස්ථාවරත්වයට ප්‍රමුඛත්වය දෙමින්, රට තුල දැනටමත් ස්ථාපිත නිෂ්පාදන ධාරිතාව උපරිම මට්ටමින් අඛණ්ඩව පවත්වාගෙන යෑමට දේශීය නිෂ්පාදකයින් දිරිගන්වන වඩාත් පරිපූර්ණ සහ දූරදර්ශී ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක කළ යුතුය. එවැනි පුළුල් පරාසයක පැතිරුනු ජාතික ප්‍රතිපත්තියක් මත පිහිටා ක්‍රියාත්මක වීම, විදෙස් ආනයන මත යැපීම අවම කර අනවශ්‍ය ලෙස විදෙස් විනිමය ‍රටින් ඉවතට ගලායාම වැලැක්වීමට අත්‍යවශ්‍ය පදනම සපයනු ඇත.–

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව