ජෝන් කීල්ස් පදනම මුලතිවු ප්‍රදේශයේ කුඹුරු අක්කර 300 කට ජලය සපයන අමුණක් ඉදිකිරීමට දායක වෙයි

05 B - Youth in conversation with John Keells and World Vision Lanka team at the renovated playground-min-min

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සමාජ වගකීම් අංශය වන ජෝන් කීල්ස් පදනම විසින් සිදුකරන ලද මුදල් සම්පාදනය ඔස්සේ, මුලතිවු දිස්ත්‍රික්කයේ නිතර නියඟයෙන් පීඩා විඳින ඉරණපාලෙයිි ප්‍රදේශයේ නවලඩිවේලිහී,  කුඹුරු අක්කර 300 කට පමණ ජලය සැපයීම සඳහා ඉදිකරන ලද අමුණ විවෘත කිරීම පසුගිය අගෝස්තු 28 වන දින සිදුකෙරිණි. ජෝන් කීල්ස් පදනමේ ග්‍රාම සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සිදුකෙරුණු අවසන් කාර්යය ලෙස ඉදිකර, මුලතිවු දිස්ත්‍රික් ලේකම් කේ. විමලනාදන් ඇතුළු ප්‍රාදේශීය නිලධාරීන්, ජෝන් කීල්ස් සමූහය නියෝජනය කරමින් එහි දේපළ සමූහයේ සමූහාධිපති සුරේෂ් රාජේන්ද්‍ර ඇතුළු ජෝන් කීල්ස් පදනමේ ප්‍රධානීන් සහ වර්ල්ඩ් විෂන් ආයතනය වෙනුවෙන් එහි ජාතික අධ්‍යක්ෂ ධනන් සේනාධිරාජා ඇතුළු නිලධාරීන්ගේ සහභාගීත්වය තුළ ජනතා අයිතියට පත්කරන ලද මෙම අමුණ, ප්‍රදේශයේ ජල සම්පත උපරිම ඵලදායී ලෙස භාවිතා කරමින් යල සහ මහ කන්න දෙකේදීම භෝග වගාකිරීමට අවස්ථාව සලසා දෙන අතර, එමගින් ඉරණපාලෙයිි සහ ඒ අවට පවුල් 100 කට අධික සංඛ්‍යාවකට සෙත සැලසෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ප්‍රදේශයේ ජලය ආපසු මුහුදට ගලා යාම වැළැක්වීම සඳහා මීට පෙර වසර 50 කට අධික කාලයක් තිස්සේ අපට රු. 75,000 බැගින් වියදම් කරමින් අඩු තරමින් වසරකට තුන් වරක්වත් වැලි කොට්ට 200 බැගින් තැන්පත් කිරීමට සිදුවුණා. මේ අමුණ නිසා එක් ගොවියෙකුට වසරකට අවම වශයෙන් රු. 250,000 ක ලාභයක් අත්වේවි කියා අප සිතනවා.” යැයි ඉරණපාලෙයි ප්‍රදේශයේ ගොවි සංවිධානයේ සභාපති ජෝන් අමරනායකම් මහතා පැවසී ය.

2013 වසරේදී ක්‍රියාවට නංවන ලද මෙම ව්‍යාපෘතිය මගින් පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉරණපාලෙයි  ග්‍රාම  නිලධාරි වසම  සහ මැරිටයිම්පත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පුදුමාතලන් ග්‍රාම  නිලධාරි වසම  ආවරණය කෙරිනී. දීර්ඝ කාලයක් තිස්සේ පැවති සිවිල් යුද්ධයෙන් වැඩිම කාලයක් පීඩාවට පත්වූ සහ, යුද්ධය අවසන් වීමෙන් පසුව නැවත පදිංචි කිරීම් කටයුතු අවසානයටම සිදුකෙරුණු ප්‍රදේශ වන මෙම ගම්මාන දෙකෙහි අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සහ තිරසාර ජීවනෝපාය මාර්ග වැඩිදියුණු කරමින්, එහි ජනතාවට අධ්‍යාපන සහ අනෙකුත් අවස්ථාවන් ලබාගැනීමට අවශ්‍ය පසුබිම සකස් කර දීම මෙහි ඉලක්කය විය.

අමුණ විවෘත කිරීම වෙනුවෙන් පැවති උත්සවය අමතමින් ජෝන් කීල්ස් පදනමේ මෙහෙයුම් ප්‍රධානී  කාමලීන් ජයසූරිය මෙනවිය මෙසේ පැවසුවා ය “2013 පෙබරවාරි මාසයේදී වර්ල්ඩ් විෂන් නියෝජිතයන් සමග මෙම ගම්මාන වෙත අප මුලින්ම ගිය අවස්ථාවේදී අප දුටුවේ තාවකාලික නිවාස, අබලන් ධීවර​ බෝට්ටු හා දැල්, ජලය හිග කුඹුරු සහ පහසුකම් නොමැති පාසල් ආදියයි. එහෙත්, අපට මුණගැසුණු විවිධ  ප්‍රජාවන් අතර, මේ අභියෝග ජයගැනීම සඳහා ඇති ධනාත්මක චින්තනය හා සුභවාදී උනන්දුවක ලකුණු අපට පෙනී ගියා. උදව් අවශ්‍ය වන්නේ නිවාස වැඩිදියුණු කරගැනීමටද, නැතිනම් ජීවනෝපාය මාර්ග දියුණු කරගැනීමටද කියා ඇසූ විට ඔවුන් ඉතාමත් ඉක්මනින් පිළිතුරු දුන්නේ ජීවනෝපාය මාර්ග වැඩිදියුණු කිරීමට අවශ්‍ය බවයි. මේ ප්‍රදේශ වල අප ක්‍රියාත්මක කළ ජීවනෝපාය හා අධ්‍යාපනික වැඩසටහන් වල පුළුල් හා සාධනීය බලපෑම මෙලෙස දැකගැනීමට ලැබීම අපට මහත් සතුටක්!˜

වර්ල්ඩ් විෂන් ලංකා ආයතනයේ ජාතික අධ්‍යක්ෂ ධනන් සේනාධිරාජා මහතා අදහස් දැක්වූයේ මෙසේ ය “අප විශ්වාස කරන්නේ, සමාජයක් සවිබල ගන්වන විට, එම සමාජයේ දරුවන්ට ජීවිතයේ නිසි සේ විඳින්නට අවශ්‍ය පසුබිමද නිතැතින්ම සකස් වන බවයි. ජෝන් කීල්ස් පදනමේ මූල්‍ය අනුග්‍රහය යටතේ වර්ල්ඩ් විෂන් ආයතන මගින් ක්‍රියාවට නංවන ලද මෙම ව්‍යාපෘතිය ප්‍රදේශයේ ජනතාවගේ ජීවනෝපාය මාර්ග වලට අත්වැලක් වනවා වගේම, වඩාත් වැදගත් දෙය වන, මුළුමහත් ප්‍රජාවේම ආහාර සුරක්ෂිතතාවටත් ඛෙහෙවින් ඉවහල් වනවා. පරම්පරා ගණනාවකට ප්‍රතිලාභ සැලසෙනු ඇතැයි සිතිය හැකි මෙවැනි කටයුත්තකට මංපෙත් විවර කරදීමට හැකිවීම අපට සතුටක්.”

පසුගිය වසර 7 ක කාලය තුළ ජෝන් කීල්ස් පදනමේ ග්‍රාම සංවර්ධන වැඩසටහන මගින් ධීවරයන් 100  සහ කාන්තා මූලික ගෘහ ඒකක 20 කට  ඍජු ජීවනෝපාය​ දායකත්වයද, අලූතින් ඉදිකරන ලද අමුණට අමතරව, ගොවීන් 200 කට අධික පිරිසකට සෙත සලසමින් කිලෝමීටර් 1.2 කින් යුත් කෘෂි මාර්ගයක් ඉදිකිරීමට දායකත්වයද ලබාදෙන ලදි. ශ්‍රී ලංකා රතුකුරුස සමාජය සමග එක්ව පවත්වන ලද පවුල් සවිබලගැන්වීම් වැඩසටහන මගින් පවුල් 30 ක ආර්ථීක හා සමාජයීය සමෘද්ධිය සාක්ෂාත් කරගැනීම සඳහා සහය ලබාදීම සිදුකෙරිණි.

තවද මෙම ව්‍යාපෘතිය යටතේ ඉරණපාලෙයි පාසලට ජල හා සනීපාරක්ෂක පහසුකම් සමග, පරිගණක විද්‍යාගාරයක්ද සහිත නව පාසල් ගොඩනැගිල්ලක් ලබාදෙන ලද අතර, පුදුමාතලන් පාසලේ වැසි ජලය ගබඩා කිරීමේ ටැංකිය සහ එහි මුළුතැන්ගෙය වැඩිදියුණු කරන ලදි. එමෙන්ම පාසල් සිසුන්ට ඉංග්‍රීසි භාෂා ශිෂ්‍යත්ව ලබාදීමද, රජයේ විභාග සඳහා සූදානම් කිරීමේ පංති පැවැත්වීමද සිදුකෙරිණි. මේ නිසා එම පාසල් වල සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සමත් වීමේ අනුපාතය 90% ත් 100% ත් අතර මට්ටමකට පැමිණියේ ය.

මේ යටතේ ක්‍රියාත්මක කරන ලද අනෙකුත් සංවර්ධන ව්‍යාපෘති අතරට, මාතලන් ප්‍රදේශයේ ධීවර සමිතිය  සඳහා ප්‍රජා ශාලාවක් ලබාදීම, තරුණ තරුණියන් සඳහා වෘත්තීය මගපෙන්වීම් හා ක්‍රීඩා පහසුකම් සැපයීම මෙන්ම, ගම්මාන දෙකේම ප්‍රජාව වෙනුවෙන් කුසලතා සංවර්ධන වැඩසටහන් ක්‍රියාවට නැංවීමද ඇතුළත් වී තිබි‚.

එපමණක් නොව ජෝන් කීල්ස් පදනම විසින් ආසියා පදනම සමග එක්වී තවත් ප්‍රජා බලගැන්වීම් වැඩසටහන් කිහිපයක් ක්‍රියාවට නංවන ලදි. පුදුකුඩුඉරිප්පු පොලිස් ස්ථානයේ කාන්තා හා ළමා අංශය වැඩිදියුණු කිරීම, මුලතිවු පොලිස් බල ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් සහ ප්‍රජාව සඳහා ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය හා ළමා අපයෝජන වැළැක්වීම සඳහා දැනුවත් කිරීම් සැසි පැවැත්වීමද සිදුකෙරිණි.

ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් යනු ශ්‍රී ලංකාවේ විශාලතම විවිධාංගීකරණය වූ සමාගම් සමූහය වන අතර විවිධ කර්මාන්ත ක්ෂේත්‍ර 7 ක් තුළ සමාගම් 70 කට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මක කරයි. ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් ලෝක ආර්ථික සංසදයේ පූර්ණ සාමාජිකයෙකු වන අතර, එක්සත් ජාතීන්ගේ ගෝලීය සංයුක්තයේ සහභාගී සාමාජිකයෙකි. අධ්‍යාපනය, සෞඛ්‍ය, පරිසරය, ජීවනෝපාය සංවර්ධනය, කලා සහ සංස්කෘතිය සහ ආපදා සහන යන ක්ෂේත්‍ර හයක් යටතේ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, තම සමාජ වගකීම් අංශය වන ජෝන් කීල්ස් පදනම තුළින් බලගන්වමු දේශය හෙට දිනට යන දැක්ම ක්‍රියාත්මක කරයි.

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව