කැළණි වැලි සහ තලවාකැලේ වතු සමාගම් 2020 Hallbars සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවට අභිමානයක් එක් කරයි

Image 02 (1)

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම වැවිලි සමාගම වන හේලීස් වැවිලි සමාගමට අනුබද්ධිත සමාගම් දෙකක් වන කැළණි වැලි ප්ලාන්ටේෂන්ස් (KVPL) සහ තලවකැලේ වතු සමාගම (TTEL) යන සමාගම් විසින් ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් කරන ලද සිය වාර්ෂික වාර්තා කීර්තිමත් 2020 Hallbars තිරසාරත්ව වාර්තාකරණ සම්මාන උළෙලේදී පිළිගැනීමට ලක් වී ඇත.

 

ඒ අනුව, KVPL හි 2017/2018 වසර සඳහා ‘‘මිනුම් වලින් ඔබ්බට ගිය වර්ධනයක් ‘Growth Beyond Measure’ යන සිය වාර්ෂික වාර්තාව ව්‍යාපාරික අංශයේ නිෂ්පාදන යටතේ තේ කාණ්ඩයෙන් ජයග‍්‍රහණය ලබා ගෙන ඇති අතර තලවකැලේ වතු සමාගමේ 2018/2019 වසර සඳහා ‘Cultured’ නමින් ඉදිරිපත් කළ වාර්ෂික වාර්තාව හොඳම තිරසාරත්ව වාර්ෂික වාර්තා නිර්මාණයට හිමි සම්මානය දිනා ගැනීමට සමත් විය.

එහිදී සමාජීය, පාරිසරික සහ මූල්‍ය යන ප‍්‍රධාන සාධක තුන පාදක කරගනිමින් නාම යෝජනා ඉදිරිපත් වූ සමාගම්වල වාර්ෂික වාර්තා ඇගයීම මගින් තිරසාරත්වය ඇති කිරීමට දරන ජාත්‍යන්තර ප‍්‍රයත්නය තවදුරටත් ධෛර්යමත් කිරීමට සහ එය ප‍්‍රදර්ශනය කිරීම මෙම සම්මාන පිරිනැමීමේ අරමුණයි.

තිරසාරත්වය සඳහා ලබා දෙන ගෝලීය දායකත්වය තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින්, ජයග‍්‍රහණය ලබන සියලූම රටවල වාර්ෂික වාර්තා ස්වීඩනයේ කාර්ල්ස්කොගා හි පිහිටි නොබෙල් කෞතුකාගාරයේ විශේෂ කුටියක ප‍්‍රදර්ශනය කෙරේ. මෙම කෞතුකාගාරය නව නිපැයුම්කරුවෙකු, ව්‍යවසායකයෙකු, පරිත්‍යාගශීලියෙකු සහ නොබෙල් සම්මානයේ නිර්මාතෘ ඇල්ෆ‍්‍රඞ් නොබෙල් වෙනුවෙන් වෙන් කර ඇති කෞතුකාගාරය ද වෙයි.

මෙම ජයග‍්‍රහණය සම්බන්ධයෙන් අදහස් දක්වන හේලීස් වැවිලි සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, ආචාර්ය රොෂාන් රාජදුරෙයි මහතා, ”ශ‍්‍රී ලංකාව තුළ තිරසාරත්වය ඇති කිරීම සඳහා වසර ගණනාවකම සිට කටයුතු කරන සමාගමක් ලෙස මෙවැනි පිළිගැනීමක් අත්කර ගැනීමට ලැබීම ගෞරවයක් ලෙස සලකනවා. හේලීස් වැවිලි සමාගම් නාමය යටතේ ක‍්‍රියාත්මක වන සමාගම් දෙකක් තිරසාර බව සම්බන්ධයෙන් මෙවැනි ගෝලීය වශයෙන් කීර්තිමත් සන්නාම හා පුරෝගාමීන් අතරට එකතු වීමට ලැබීම සැබවින්ම ගෞරවයක්.” යනුවෙන් පැවසුවේය.

මෙහිදී, ඉන්දියාවේ ටාටා සහ එක්සත් රාජධානියේ ෆින්ලේස් වැනි ලොව ප‍්‍රධාන පෙළේ ගෝලීය සමාගම් සමඟින් KVPL සමාගම මෙසේ සම්මානයට පාත‍්‍ර වූ අතර තලවකැලේ වතු සමාගම ඔස්ටි‍්‍රයාව, ඔස්ටේ‍්‍රලියාව, ජර්මනිය, ඉතාලිය සහ නෙදර්ලන්තය යන රටවල් නියෝජනය කරමින් පැමිණ සිටි සමාගම් සමඟින් සම්මානයට පාත‍්‍ර වීම විශේෂත්වයකි.

මේ අතර, මෙම ජයග‍්‍රහණයත් සමගින්ම KVPL සහ තලවකැලේ වතු සමාගමේ වාර්ෂික වාර්තා ගෝලීය තිරසාරත්ව සම්මාන උළෙළ (Global Sustainability Awards) සඳහා අනෙකුත් රටවල් සමගින් එකම කාණ්ඩය යටතේ තරග කිරීම සඳහා ද අවස්ථාව උදා කරගෙන ඇත.

හේලීස් වැවිලි සමාගම කැළණි වැලි ප්ලාන්ටේෂන්ස් (KVPL), තලවකැලේ වතු සමාගම (TTEL) සහ හොරණ වතු සමාගම (HPL) යන සමාගම් තුනකින් සමන්විත වෙයි. මෙම සමාගම් තුනම පිළිවෙලින් තේ සහ රබර් කර්මාන්තය සඳහා ශ්‍රී ලංකාවේ ප‍්‍රාදේශීය වැවිලි සමාගම් අතර ඉතා ඉහළ පිළිගැනීමක් අඛණ්ඩව පවත්වා ගෙන යයි. ඒ අනුව, මෙම සමාගම් මගින් තේ සහ රබර් වතු 60ක් පමණ කළමනාකරණය කරන අතර හෙක්ටයාර 26,137ක භූමියක් පුරා ඒවා ව්‍යාප්තව ඇති බවත් එසේම ශ‍්‍රී ලංකාවේ වාර්ෂික තේ සහ රබර් නිෂ්පාදනය සඳහා පිළිවෙලින් 4.5% ක සහ 2.5% ක දායකත්වයක් ද මෙම සමාගම් මගින් ලබා දෙයි.

බලශක්ති කළමනාකරණ පද්ධතිය සඳහා ISO 50001: 2018, හරිතාගාර වායු (GHG) ලියාපදිංචි සහතිකය සඳහා ISO 14064:2018  සහ පරිසර කළමනාකරණ පද්ධති (EMS) සඳහා ISO 14001: 2015 යන සහතික ලබා ගත් ශ‍්‍රී ලංකාවේ පළමු වැවිලි සමාගම වන්නේ තලවකැලේ වතු සමාගමයි.

2019 වසරේ ජාතික හරිත වාර්තාකරණ පද්ධතිය පිළිබඳ වසරේ හොඳම හරිත වාර්තාකරු ලෙස හේලීස් වැවිලි සමාගම 2019දී ජනාධිපති පාරිසරික සම්මානය දිනා ගනිමින් සමාගමේ තිරසාරභාවය පිළිබඳ පුරෝගාමී කාර්යභාරය වෙනුවෙන් නිරන්තරයෙන් දේශීය හා ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමක් ලබා ඇත. මීට අමතරව, ආසියාවේ හොඳම තිරසාරත්ව වාර්තාකරණ සම්මාන උළෙලේදී සමාගම වෙත හොඳම ඒකාබද්ධ වාර්තාව සඳහා වන සම්මානය ද පිරිනමන ලදී.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව